කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිඳු රෝගියෙකු අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී ඇති අතර එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කලා.
ප්‍රධාන නගර කිහිපයක් ආශ්‍රිතව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මීට මාස කිහිපයකට පෙර සිටම සූදානම් කර තිබෙන බැවින් ඕනෑම හදිසි අවස්ථාවක ආසාදිතයන් අපහසුතාවන්ට පත්වීම වැළැක්වීමට එම මධ්‍යස්ථාන සැලසුම් කර ඇති අතර රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන් පළමුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙතත්, පසුව රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කර රෝහල් වෙතත් යොමු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ඔහු මේ බව සඳහන් කළේ එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීයි.
රෝහල් මට්ටමෙන් ජනතාව අපහසුතාවයට පත්වීම වැළැක්වීමේ ක්‍රමවේදයක් සැකසීමට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන්ට සෘජුව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.
රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට අවශ්‍ය උපදෙස් මාධ්‍ය මගින් ජනතාවට නිරන්තරයෙන් ලබාදීම ද සෞඛ්‍ය විශේෂඥයන්ගේ වගකීම බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේ.
දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් වයස අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් සැලසීමට ද තීරණය වී තිබෙනවා.
එමෙන්ම වයස අවුරුදු 18ට වැඩි මෙරට සමස්ත ජනගහණයට එන්නත් මාත්‍රා දෙකම සැප්තැම්බර් මසට පෙර ලබාදිය හැකි පරිදි එන්නත් ඇණවුම් කර ඇති අතර තෙවන මාත්‍රාවක් සඳහා වුවද රජය සූදානම් බවටයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා