Monday, September 23, 2024

මළ සිරුරු ගොඩ ගැසේ. රෝහල් පිරීයයි… ඔක්සිජන් අවශ්‍ය රෝගීන් වැඩිවෙයි..

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා ඊයේ (08)සඳහන් කළේය.

වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවය.

“දැන් රෝගීන් පෙර අවස්ථාවට වඩා අසාධ්‍ය රෝගීන්. ඒ නිසාම ජනතාවට කියන්න කැමතියි හැකිතාක් දුරට පරිස්සම් වෙන්න මොකද ඇතුළත්ව සිටින විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් ලබාදීමට සිදුව තිබෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන්. HDU ඇඳන් සියල්ලත් රෝගීන්ගෙන් පිරී අවසන්. “

මේ අතර, කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාර තුළ කොවිඩ් ආසාදිත මෘතදේහ සහ පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කිරීමට නියමිත මෘතදේහ අද උදෑසන වනවිටත් එක් රැස්ව තිබුණි.

රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ මෘතදේහ එක්රැස්ව ඇති අතර ඒ අනුව එම මෘතදේහ ඊයේ පස්වරුව වනවිට මහර,වත්තල,බියගම,ජාඇල,කටාන හා මීගමුව යන ප්‍රදේශවල ආදාහනාගාර වෙත යොමු කිරීමට පියවර ගත් බව රෝහල් බලධාරීන් සඳහන් කළේය.

අවශ්‍යතාව මත ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ආදාහනාගාර වෙතත් එම මෘතදේහ යොමු කිරීමට පියවර ගෙන තිබේ.

ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟ ගෙවුණු දින 10ක කාලය තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 75 කින් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ.

රෝහල්වල ධාරිතාවද ඉක්මවා යමින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් වාර්තා වන පසුබිමක ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවත් සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබේ.

පසුගිය ජූලි 19 වනදා සිට ජූලි 28 වනදා දක්වා දින 10 සැලකීමේදී ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් දෛනිකව 227 ත් 409 ත් අතර පරාසයක පැවැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවල දැක්වේ.

ඒ අනුව එම දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය වූ රෝගීන්ගේ සාමාන්‍ය අගය 291 ක් පමණ විය.

කෙසේවෙතත් එම අගය ක්‍රමයෙන් ඉහළ යමින් ජූලි 29 වනදා සිට අගොස්තු 07 වනදා දක්වා දින 10 තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 441 ත් 602 ත් අතර පරාසයක් දක්වා වර්ධනය වීම සැලකිය යුතු තත්ත්වයකි.

එම දින 10 තුළ ඔක්සිජන් අවශ්‍ය වූ රෝගීන්ගේ සාමාන්‍යය 509 දක්වා ඉහළ ගොස් තිබේ.

එය පෙර දින 10ට සාපේක්ෂව සියයට 75ක පමණ වර්ධනයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles