Friday, September 20, 2024

තීන්දු ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතක් පාසාම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් වෛරසයෙන් අහිමිවෙනවා – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය කියයි


දෛනිකව කොවිඩ් ආසාදිතයින් 2,500 සීමාව සහ මරණ 90 සීමාව ඉක්මවා වාර්තා වෙමින් ඇති පසුබිමක රටේ ඉදිරි සති 02ක කාලය ඉතා තීරණාත්මක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පවතින තත්ත්වය හමුවේ ආර්ථිකය ආරක්ෂා කර ගනිමින් වෛරස ව්‍යාප්තිය පාලනය නොකරන්නේ නම් රටක් ලෙස දැඩි ව්‍යවසනයකට මුහුණ දීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

‘ පවතින තත්ත්වය හමුවේ රටක් වශයෙන් ඉදිරි දින 14ක කාලය තුලදී වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීම ඉතා වැදගත් වෙනවා. රෝගීන් වාර්තා වීම වැඩිවීම පාලනය නොකරගත හොත් සෞඛ්‍ය අංශවලට එම තත්ත්වය දරා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේමයි නිසි තීරණ ගන්න ප්‍රමාද වෙන සෑම මොහොතකම රටේ ජිවිත කිහිපයක් කොවිඩ් නිසා අහිමිවෙනවා කියලා අමතක කරන්න හොඳ නැහැ’ යැයි ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර බිම් මට්ටමේ පවතින කොවිඩ් ව්‍යාප්තියේ සැබෑ තත්ත්වය ජාතික තලයට ගලා නොඒම නිසා ජනතාවට වසංගතය ගැන තිබෙන බිය පහව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

‘ පවතින ක්‍රමවේදය අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වසංගත රෝග විද්‍යා ඒකකයෙන් අප ඉල්ලීමක් කරනවා රටේ බිම් මට්ටමේ තිබෙන කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සැබෑ තතු මහජනතාවට දැන ගන්න ඉඩ ලබා දෙන්න කියලා. පොදු මහජනතාව රටේ තිබෙන මේ තත්ත්වය ගැන නිසි අවබෝධයක් කර ගන්නේ නැහැ වගේම සෞඛ්‍ය සේවයේ දත්ත සම්බන්ධයෙන් ඔවුන් විශ්වාස නොකරන මට්ටමට පැමිණෙනවා. මේ නිසා විනිවිදභාවයකින් කටයුතු කිරීම ඉතා වැදගත් කියලා අපි බලධාරීන්ට මතක් කරල දෙනවා’ යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටියා.

Neth News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles