Monday, October 21, 2024

සියලු මාධ්‍ය සංදර්ශන අවසන්. අද මුළු රටම භයානක තත්ත්වයක – එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන

සෞඛ්‍ය ක්ෂේත්‍ර‍යේ පළපුරුදු දක්ෂ නිලධාරින් මාරු කර යවා අද මුළු රටම භයානක තත්ත්වයකට පත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“වර්තමානයේ රට පත්වෙලා තිබෙන තත්ත්වය පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළා. අපි පක්ෂයක් හැටියට දිගින් දිගටම මේ කරුණු ඉදිරිපත් කළා. ඒවාට ඇහුම්කන් නොදී ක්‍රියා කළ නිසා අද මහජන ජීවිත විශාල වශයෙන් බිලි ගන්නා තත්ත්වයට පත්වෙලා තිබෙනවා. පළමුවෙන්ම අවබෝධ කරගත යුතුයි සෞඛ්‍ය අමාත්‍යංශය කියන්නේ කුමක්ද කියලා. සෞඛ්‍ය අමාත්‍යංශය වෙන අමාත්‍යංශ වගේ හසුරුවන්න බැහැ.

පළපුරුදු, දක්ෂ නිලධාරින් අයින් කළා

පළපුරුදු දක්ෂ නිලධාරින්, කාලයක් තිස්සේ වැඩ කරන අය, ඒ ඒ ආයතන පිළිබඳ, ඒ ඒ ප්‍රදේශ පිළිබඳ අත්දැකීම ඉතා වැදගත්. අමාත්‍යංශයේ හිටපු ජේෂ්ඨම පළපුරුදු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් හැටියට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා රෝග නිවාරණ අංශයේ හොඳ පළපුරුද්දක් තිබුණු අයෙක්. ඔහුව ගවයින් බලාගන්න අමාත්‍යංශයකට යොමු කළා. විශේෂඥ වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් මේ ආකාරයට මාරු කළා. අනිල් ජාසිංහ මහත්මයා, ජයවරුවන් බණ්ඩාර මහත්මයා, විශේෂයෙන් මුලදිම PCR වලට හොඳ පළපුරුද්දක් සහ දැනුමකින් වැඩ කළ අය. පබා පළිහවඩන මහත්මිය ලංකාවේ හිටපු හොඳ වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරියක්. ඇයට හිරිහැර කළා. එතුමිය ලෝක සෞඛ්‍ය සංවිධානයට ගත්තා.

සුදත් අමරවීර විශේෂඥයා ඉතා හොඳ වැඩ කොටසක් කරමින් හිටියා. ඔහුට වසංගත රෝග පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. එතුමා එතනින් වෙන තැනකට දැමුවා. ඖෂධ නියාමන අධිකාරිය අවශ්‍ය පරිදි අනුමැතියන් ලබා ගැනීමට නොහැකි නිසා මහාචාර්ය අසිත ද සිල්වා මහත්මයා ඉල්ලා අස් වුනා. පාලිත අබේකෝන් මහත්මයා අයින් කළා. කෝවිඩ් මර්දන ඒකකය දැන් පුළුවන් කොහේහරි තුන් මං හන්දියක පවත්වන්න. ඒ තරම් පළපුරුදු දක්ෂ විශාල පිරිසක් එළියට දැම්මා. පළාත්වලත් දේශපාලඥයන් මේ දේම සිද්ධ කළා. පළාත්වල ඒ පළාත් පිළිබඳ දැනුම පළපුරුද්ද තිබෙන අය මාරු කරලා යවලා කනිෂ්ට නිලධාරින් මේ තැන්වලට පත් කරලා මුළු සෞඛ්‍ය අමාත්‍යංශයේම මේ මාස කිහිපය තුළ විශාල අවුලක් නිර්මාණය කළා.

ලංකාව අසියාවෙත්, ලෝකයෙත් වසංගත රෝග පාලනයට ඉතාම දක්ෂ රටක් හැටියටයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. ලංකාවේ රෝහල් 1060 ක් තිබෙනවා. ඇඳන් 78,000ක් තිබෙනවා. පෞද්ගලික රෝහල් 200 ක් පමණ තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 360 ක් තිබෙනවා. වෛද්‍යවරුන් 22,000 ක් පමණ සිටිනවා. හෙද හෙදියන් 45,000 ක් පමණ ඉන්නවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,500 ක් පමණ ඉන්නවා. පවුල් සෞඛ්‍ය සේවිකාවන් 10,800 පමණ ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නවා මනා පළපුරුදු අත්දැකීම් අඩු වැඩි වශයෙන් අය සෞඛ්‍ය සේවකයන් එක්ලක්ෂ පනස් දාහක් (150,000) ක් ඉන්නවා.

මෙයින් ලක්ෂයකට පමණ පුහුණුව තියෙනවා එන්නතක් ලබා දෙන අකාරය පිළිබඳ. එක එක්කෙනාට හිතෙන පරිදි එන්නත්කරණය සිදු කරන්න බැහැ. ඒකට ලෝකයේ තිබෙනවා පිළිගත් සම්ප්‍රදායක්. වෛද්‍යවරුන්ට, හෙදියන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට, පී.එච්.අයි. මහත්වරුන්ට සහ ඒ සඳහා පුහුණුව ලබපු අයට මේ එන්නත්කරණය කරන්න පුලුවන් හැකියාව තිබෙනවා. දැන් බලන්න, මේ ලක්ෂයම එන්නත්කරණයට සහභාගී වුණා නම් දවසකට එක්කෙනෙක් 3000 ක් එන්නත්කරණය කළත් විශාල පිරිසකට එන්නත ලබා දෙන්න පුලුවන්. නියමිත වෙලාවට එන්නත් ගෙන්වා ගත්තෙ නැහැ. එන්නත් ලබා ගත්තට ඒ මොහොතේම ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. අපි දේශපාලඥයෝ අපි දන්නෙ නැහැ , විශේෂඥයෝ කියන පරිදි ඒක අරගෙන මාසයක් විතර ගියාම තමයි ඒකෙන් ආරක්ෂාවක් ලැබෙන්නේ. මැතිවරණයකට වගේ පෝළිං කරලා එන්නත් ලබා දෙනවා. කණගාටුදායකයි මේ වගේ තත්ත්වයකට පත්වීම පිළිබඳව.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරු කීදෙනෙක් මාරු කළාද?

සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ අවුරුද්දක් ඇතුලත ලේකම්වරු කීදෙනෙක් මාරු කළාද? වසන්ත පෙරේරා මහත්මයා ලේකම් හැටියට කටයුතු කළා. භද්‍රානි ජයවර්ධන මහත්මිය ලේකම් හැටියට කටයුතු කළා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉතිහාසයේ වෛද්‍ය ජෝ පෙරේරා වගේ අය අවුරුදු දහය, දොළහ එක දිගට ඒ අමාත්‍යංශයේ මනා අත් දැකීමක් ඇතිවයි වැඩ කළේ. ඉතාමත් කණගාටුදායක තැනකට මුළු සෞඛ්‍ය අමාත්‍යංශයම අරගෙන ගියා. මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේත් ප්‍රකාශ කළේ ඒකයි එදා සෞඛ්‍ය අංශය ශක්තිමක් කරන්න කියලා. දැන් ඒ නිසා තමයි මහජනතාවට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙලා තිබෙන්නේ. දැන් අන්තිම භයානක තැනකට රට පත් වී තිබෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ අපේ හිටපු අගමැතිතුමා කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ විශේෂයෙන්ම වෙනම කමිටුවක් පිහිටුවිය යුතුයි කියලා. අද එවැනි කමිටුවක් නැත්තෙ ලංකාවෙ විතරයි. අනිත් හැම රටකම එවැනි කමිටුවක් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් එකතුකරගෙන රජය වහාම එම කමිටුව ස්ථාපනය කළ යුතුව තිබෙනවා. එමෙන්ම අද කොරෝනා මර්ධන කමිටුව ක්‍රියාත්මක වන නමුත් ඒ සඳහා නීතියෙන් බලයක් නැහැ. ඔවුන් වැඩ කරන්නේ නිතියෙන් පිට. ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව යටතේ ආණ්ඩුව ගෙන යන්න බලතල තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. ඒ බලතල නැවත වෙන කමිටු වලට දෙන්න බැහැ. ඊට අමතරව නීතියෙන් ආපදා කළමනාකරණ මණ්ඩල ඇති කරලා තිබෙනවා. එහි විපක්ෂ නායකවරයෙක් ඉන්නවා. එය ක්‍රියාත්මක කළ හැකියි මේ අර්බුධයෙන් ගොඩ එන්න. පිළිතුර සෑදිය හැක්කේ මේ මාර්ගයෙන් පමණයි.

ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මාස ගණනාවක සිටම හැම කමිටුවකදීම අපිට උපදෙස් දුන්නේ මේ වෙලාවේ අපි මේ ක්‍රියාදාමයට විරුද්ධයි. මේ කරන වැඩපිළිවෙල වැරදියි. හැබැයි අපි පාරට බැහැලා පිකටින් කරන්න යන්න හොඳ නැහැ. එහෙම වුනොත් මේ රටේ ජනතාව අපට දොස් කියයි අපිත් කෝවිඩ් බෝ කරන්න කොටස්කරුවෝ වුනා කියලා. මේ තත්ත්වය ඇතිවෙන බව අපේ නායකතුමා දැනගෙන හිටියා. ආණ්ඩුව කරපු වැරදි අපි ප්‍රතික්ෂේප කරනවා. ඉස්සරවෙලාම මනුෂ්‍යයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕන. අදත් ඒකයි අපි මේ පණිවුඩය දෙන්නේ. අපි දෙනවා විතරක් නොවේ අපිට මෙය කරගෙන යන්න අවශ්‍ය නිසි වැඩ පිළිවෙල් කිහිප විටකම අපි ඉදිරිපත් කළා. මුලදි බස්නැවතුම් පොළවල් වල, ප්‍රසිද්ධ තැන්වල මාධ්‍ය සංදර්ශන පැවැත්වුවා. විෂබීජහරණය කරන මහා මෙහෙයුම් පෙන්නුවා. දැන් දවසට සියය, එකසිය පනහ මිය යන්න ගත්තම කොහේවත් විෂබීජහරණය කරන්නේ නැහැ. බස්නැවතුම්පොළවල්, ප්‍රසිද්ධ ස්ථාන විෂබීජහරණය කළා. ඒ ෂෝ එක දැන් ඉවරයි. ඊට පසුව කවුරුහරි කෝවිඩ් පොසිටිව් වුණාම කළ හැකි මෝඩම වැඩේ කළා. කන්දකාඩු අරන් ගියා. ඈතට අරන් ගිහින් දවස් ගණන් තියලා මහා මුදලක් වියදම් කරලා ලොකු අපරාධයක් කළා.

මෙහෙම ගියෝතින් තියෙන ආදාහනාගාර මදි වෙයි, පාන් පුච්චන බේකරිත් මිනී පුච්චන්න ගන්න වෙයි

පුද්ගලික අංශයට PCR කරන්න දුන්නෙ නැහැ. ඇන්ටිජන් පරීක්ෂාව ලෝකයේ ඕනෑම ෆාමසියකට ගියාම කරගන්න පුලුවන්. ආණ්ඩුව අනවශ්‍ය බර අරගෙන මිනිස්සු අමාරුවේ දැම්මා. මේ තත්ත්වය වහාම වෙනස් නොකළහොත් මේ වර්ෂය අවසන් වන විට ලෝක වර්ථාවක් ශ්‍රී ලංකාව තියයි. මේකත් එක ක්‍රමයක්ද මම දන්නෙ නැහැ. සමහර  වෙලාවට මැරෙන්න අරලා, ඉන්න මිනිස්සුත් එක්ක වැඩ කරන එක. ඒකත් ජාතික ප්‍රතිපත්තියක්ද කියලා අපි දන්නෙ නෑ. කෝ දැන් මාධ්‍ය සංදර්ශන? කෝ දැන් මෙච්චර විශාල වශයෙන් මේ වසංගතය පැතිරෙන කොට විෂබීජහරණය කරන මහා ව්‍යාපාර ? කිසිවක් නැහැ. ඔක්කොම කළේ සංදර්ශන පමණයි. මං දැක්කා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියලා තියෙනවා, “මෙහෙම ගියෝතින් තියෙන ආදාහනාගාර මදි වෙයි, පාන් පුච්චන බේකරිත් මිනී පුච්චන්න ගන්න වෙයි“ කියලා. මේ අපරාධය ශ්‍රී ලාංකික මහ ජනතාවට කරන්න එපා. මේක බෞද්ධ රටක්. බලය ලබා ගත්තෙ බොරු කියලා. ජාතිය, ආගම ඉස්සරහට පෙන්වලා බුදුදහම විකුණගෙන දේශපාලනය කරන්න හොඳ නැහැ. ඒවා මහා පාප කර්ම. මේ සාපයෙන් බේරෙන්න දැන්වත් නිවැරදි වෙන්න කියලා රජයට අපි අවධාරණය කරන්න කැමතියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles