ආණ්ඩුවටත් හොරෙන් කහටගහ පතල විකුණන සැලසුමක තොරතුරු එළියට

0
387

කහටගහ මිනිරන් පතල කැනේඩියානු සමාගමකට විකුණා දැමීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු උත්සහ දරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස්වලින් තොරව අදාල නිලධාරියා කහටගහ මිනිරන් පතල විකුණා දැමීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටින බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අදාල නිලධාරියා මීට පෙරද චෝදනාවලට ලක්ව සිටින අයෙකු බවයි පැවසෙන්නේ. කහටගහ පතලේ තොරතුරු ඔහු විසින් පිටස්තර පුද්ගලයින්ට ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා.

කහටගහ පතල ලොව වටිනාම සහ දුර්ලභ මිනිරන් විශේෂයක් වන ධමනි මිනිරන් පවතින ස්වභාවික සම්පතක්. මිනිරන් ව්‍යාපාරයට සම්බන්ධ විවිධ නම්වලින් සමාගම් ලියාපදිංචි කර විදෙස් රටවල කොටස් වෙළඳ පොලවල ආයෝජන සඳහා ඉදිරිපත්ව මුදල් වංචා කිරීමේ සිද්ධීන් මීට පෙර අවස්ථාවන්වලද වාර්තා වුණා.

අදාල සමාගම් බොහෝ අවස්ථාවල කහටගහ පතල හා සම්බන්ධ බවට පවසමින් සිදු කෙරුණු එම මූල්‍ය වංචා හේතුවෙන් කහටගහ පතලේ කීර්ති නාමයට දැඩි ලෙස හානි සිදුවනවා. චෝදනා එල්ලවී සිටින නිලධාරියා එවැනි සමාගම් වෙත කහටගහ පතලේ වැදගත් තොරතුරු ලබාදී ඇත්ද යන්න පිළිබඳ විමර්ශන සිදු කෙරෙමින් පවතින බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

(Neth News)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here