Friday, September 20, 2024

අර්බුදයෙන් ගොඩ එන්න ආණ්ඩුවට එජාපයෙන් යෝජනා 21ක්

රනිල් වික්‍රමසිංහ මහතා ද පළපුරුද්ද හා දැක්ම අතින් කිසිවෙකුට සම කළ නොහැකි නායකයෙක් බවත් නායකත්වය වඩාත් අවශ්‍ය අවිනිශ්චිත හා අවුල් සහගත කාලවලදී, බාධක බිඳ දමමින් අන් අයට උදව් කිරීම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා,

“ඒ නිසා තමයි එක්සත් ජාතික පක්ෂය රටේ වර්තමානයේ ජනතාව මුහුණ දෙන බරපතල ඛේදවාචකයකට ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. එම ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කළේ සෞඛ්‍ය ආර්ථිකය සුරක්ෂිත වූ රටක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය එළිදක්වන ප්‍රතිපත්ති මාලාව ද ක්‍රියාවට නැංවීම මෙම හමුවීමේ අරමුණයි.

  1. කෝවිඩ් වසංගතයට මුහුණදීම උදෙසා හමුදාව සහ ඉදිකිරීම් සමාගම්වල උපරීම සහයෝගය ඇතිව තාවකාලික ක්ෂේත්‍ර රෝහල් ඉදිකිරීම. රෝගීන් සඳහා නව ඇඳන් සම්පාදනය ද මෙයට ඇතුළත් ය.
  2. ශ්වසන අපහසුතා ඇතිවන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබාදෙන උපකරණ (ventilators) ලබාගැනීම වෙනුවෙන් මෙන්ම අවශ්‍ය ඔක්සිජන් ධාරිතාවය පවත්වා ගැනීම වෙනුවෙන් රජය වහාම ජාත්‍යන්තර සහාය ලබාගත යුතු ය. මේවා රටට ඉක්මණින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිතා කළ යුතු ය.
  3. රටේ සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහායවීම සඳහා විශ්‍රාමික වෛද්‍ය වෘත්තිකයින්ගේ මෙන්ම පෞද්ගලික සෞඛ්‍ය අංශ වෘත්තිකයන්ගේ සේවය ද ලබාගත යුතු ය. හැකි අයුරින් අනෙකුත් විශ්‍රාමික සෞඛ්‍ය සේවකයන්ගේ ද සහාය ලබාගැනීම කාලෝචිත ය.
  4. එන්නත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කළ යුතු අතර, COVID-19 ආශ්‍රිත කටයුතු වෙනුවෙන් දැනට පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය අත්හිටුවා, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම නිර්දේශිත වේ.
  5. දෙමාපියන්ගේ අනුමැතියට යටත්ව කෝවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන වයස අවුරුදු 12 සිට ඉහළ දරුවන් ද ඇතුළත් වන ලෙස පුළුල් කළ යුතු ය.
  6. එන්නත්කරණ වැඩසටහන වේගවත් කළ යුතු අතර, එන්නත් වැඩසටහන සඳහා ප්‍රායෝගික කාල රාමුවක් වෛද්‍ය බලධාරීන් විසින් ස්ථාපිත කළ යුතු ය.
  7. මහජනතාව සඳහා සිදුකෙරෙන PCR පරීක්‍ෂණ ප්‍රමාණය වැඩි කළ යුතු ය.
  8. සෞඛ්‍ය සේවයේ සියලුම සාමාජිකයින් නිතිපතා PCR පරීක්‍ෂණයන්ට භාජනය කළ යුතු අතර,  පෞද්ගලික පරිහරණය සඳහා සෞඛ්‍ය ආරක්‍ෂක උපකරණ ඔවුන් වෙත ලබාදිය යුතුය.
  9. කෝවිඩ් -19 ආසාදිතයින් සහ මරණ පිළිබඳ නිවැරදි දත්ත ඇතුලත් සංඛ්‍යාලේඛන පවත්වාගෙන යෑමට කටයුතු කළ යුතු යි.
  10. කෝවිඩ් මර්දන කාර්යසාධක බලකාය සඳහා නීතියේ කිසිදු විධිවිධානයක් නොමැත. එම බලතල ඇත්තේ අමාත්‍ය මණ්ඩලයට, ආපදා කළමනාකරණ සභාවට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ ය. එම නිසා මෙම කාර්යසාධක බලකාය වහාම අහෝසි කළ යුතු අතර, කැබිනට් මණ්ඩලය මෙහි වගකීම භාරගත යුතු වේ. ඒ අනුව අදාළ ඇමතිවරුන්, විපක්ෂ නායක ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණ සභාව ඉක්මණින් කැඳවිය යුතු ය. කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක විය යුත්තේ ඔවුන් හරහා ය.
  11. ඊට අමතරව කැබිනට් මණ්ඩලයට සහාය වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද පුද්ගලයින්ගෙන් සමන්විත විශේෂ උපදේශක කණ්ඩායමක් පිහිටුවිය යුතු ය.
  12. කෝවිඩ් -19 සම්බන්ධයෙන් රටේ පවතින තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව සතිපතා රැස්විය යුතු ය.
  13. කෝවිඩ් -19 හා ඊට සම්බන්ධ සියළුම කටයුතුවල මූලික කාර්යභාරය වෛද්‍ය බලධාරීන් වෙත පැවරිය යුතු අතර, ඊට සහාය දෙන කණ්ඩායම් වශයෙන් හමුදාව සහ අනෙකුත් අවශ්‍ය ආයතන පවත්වා ගෙන යා යුතු ය. සෞඛ්‍ය සේවා පනතට අනුකූලව සියළුම කෝවිඩ් -19 මර්ධන කාර්යයන් සෞඛ්‍ය විශේෂඥයින්ගේ සෘජු පාලනය සහ අධීක්ෂණය යටතේ තිබිය යුතු ය.
  14. විපක්ෂය විසින් ඉදිරිපත් කොට තිබෙන “මහජන සෞඛ්‍ය හදිසි පනත් කෙටුම්පත”, පාර්ලිමේන්තුව විසින් කෙටුම්පතක් ලෙස සකස් කොට වහාම බලාත්මක කළ යුතු ය. රජය විසින් ඉදිරිපත් කර තිබෙන “කොරෝනා වෛරසය – 2019 (COVID-19) (තාවකාලික විධිවිධාන)” යන අර්ධ සහන සපයන පනත ද සම්මත කළ යුතු ය.
  15. කෝවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීම වෙනුවෙන් සිය සාමාජික රටවලට ඉල්ලීම් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විශේෂ අයිතියක් ලබාදී ඇත. මෙමගින් සෞඛ්‍ය අංශ වෙත අතිරේක මූල්‍ය සම්පත් සපයනු ලබයි. ඒ අනුව, මෙම අරමුදල විසින් මෙරට සෞඛ්‍ය අංශය සඳහා ඩොලර් මිලියන 800 ක අතිරේක මූල්‍ය ප්‍රදානයක් වෙන් කළ අතර, එය එන්නත් මිලදී ගැනීම ඇතුළුව කෝවිඩ් වියදම් සඳහා වැය කළ යුතු ය.
  16. කෝවිඩ් -19 වසංගත තත්ත්වය සහ විදේශ විනිමය සංචිත නොමැතිකම හේතුවෙන් මෙරට ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණ පා ඇත. හදිසි ආර්ථික සහන වැඩසටහන් සඳහා ද ඉඩකඩක් නොමැත. එබැවින්, රජය වහාම අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ යුතු ය.
  17. පුරවැසියන්ගේ සංචරණය අඩු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයට සිය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුගමනය කළ යුතු ය.
  18. පොදු ප්‍රවාහන සේවයත් එහි ධාරිතාවයෙන් අඩකට සීමා කළ යුතු අතර, මහජනතාව අත්‍යවශ්‍ය ගමන් වෙනුවෙන් පමණක් සීමා කළ යුතු ය.
  19. එන්නත් නොකළ සියලුම සංචාරකයින් සඳහා රටේ දේශසීමා වහාම වසා දැමිය යුතුය.
  20. ආපදා කළමනාකරණ සභාව සහ අධ්‍යාපන ආයතන එක්ව දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සැලැස්මක් සකස් කළ යුතු ය. එමගින් නැවත සුරක්ෂිතව පාසල් අධ්‍යාපනය ආරම්භ කිරීමට හෝ රටේ සියළුම දරුවන්ට සමානව අධ්‍යාපනය හිමිවීමේ අවස්ථාව උදාකර දීමට කටයුතු කළ යුතු ය.
  21. සියළුම COVID-19 වියදම් අධීක්ෂණය කිරීම සඳහා වෙනම වැය ශීර්ෂයක් ස්ථාපිත කළ යුතු ය . මෙය කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට වගකියනු ඇත.

රජයේ වගකීම් ජනතාව අතට ගැනීමට ඉඩ තැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ නරක ලක්ෂණයක්

කෙසේ හෝ රටේ තත්ත්වය එන්න එන්නම ඉතාමත් නරක අතට හැරෙමින් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, හෙද සංගම්, මහජන පරීක්ෂකවරුන්ගේ සංගම්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සියලු වෘත්තිය සමිති සහ දේශපාලන පක්ෂ සියලු දෙනාගේ එකම ඉල්ලීම වන්නේ ජීවිත බේරාගැනීම සඳහා වහාම රට ලොක්ඩවුන් කළ යුතු බවයි. එසේ රජය රජයේ වගකීම ඉෂ්ඨ නොකළහොත් රජයේ වගකීම් ජනතාව අතට ගැනීමට ඉඩ තැබීම ප්‍රජාතන්ත්‍රවාදයේ නරක ලක්ෂණයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේම අපි මතක තබා ගත යුතු කාරණය තමයි රටේ රෝහල් පද්ධතිය, රෝහල් කාර්ය මණ්ඩල සම්පූර්ණයෙන්ම කළ හැකි මහාසේවයක් වසරකට ආසන්න කාලයක් ඉටු කළා. දැනට ගන්නා ජාතික ප්‍රතිපත්ති නිසා තව මාසයක් යනවිට කොළඹ මහ ආරෝග්‍ය ශාලාව, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මහනුවර මහ රෝහල ප්‍රධාන රටේ සමස්ත ජාතික රෝහල් පද්ධතියත් දිස්ත්‍රික් රෝහලයත් කඩා වැටෙනවා. එයට ප්‍රධාන හේතුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ප්‍රශ්නයක් නොවේ. සැලසුම් සහගතව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් හඳුන්වානොදීමයි.

කරාපිටියේ වැඩ අවසන් කර තිබෙන රෝහල කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වහාම සූදානම් කර දෙන්න

කෙසේ හෝ කෝවිඩ් මූලික අවස්ථාවේදී ලංකාවද මාස ගණනක් ලොක්ඩවුන් කර තිබුණා. වර්තමානයේ නවසීලන්තයේ ඩෙල්ටා ප්‍රභේදයේ එක් රෝගියෙකු සොයා ගැනීම නිසා එම ප්‍රදේශය දින 7 ක් සම්පූර්ණයෙන්ම ලොක් ඩවුන් කර ඇති අතර මුළු රටම දින 3 කට වසා දමා ඒ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා නවසිලන්ත අගමැතිණිය ජසින්ඩා මහත්මිය ක්‍රියා කර තිබුණා. එවැනි ක්‍රියාවන් ආදර්ශයට ගත යුතුයි. පළමුව අපේ රටේ වටිනාම සම්පත වන්නේ මානව සම්පතයි. මේ ආකාරයට දරුණු ලෙස මානව සම්පත අපෙන් ගිලිහුණහොත් අපට ඉතුරුවන්නේ හිස් රටක්. උදාහරණයක් හැටියට මා නියෝජනය ගාල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය එන්න එන්නම නරක තැනකට පත්වන බව, අවුරුදු 35 කට ආසන්න කාලයක් දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයක් දරපු මට ඒ ගැන තිබුණු පළපුරුද්ද නිසාම දැනට මාස 06 කට ඉහතදි ප්‍රකාශ කළා. මට පෙන්නෙ නෑ කිසිදු බලධාරියෙකුගේ අවධානයක් යොමු වෙන බව. කරාපිටියේ වැඩ අවසන් කර තිබෙන රෝහලක් තිබෙනවා. කෝවිඩ් ලෙඩුන් 1000 ආසන්න ප්‍රමාණයක් ඇතුලත් කළ හැකියි. මේ පිළිබඳව මීට ඉහතදී මා ප්‍රකාශ කර තිබනෙවා. බොහෝම සුළු වැඩ කොටසක් තමයි එහි ඉවර කර ගැනීම තිබෙන්නේ. විදුලිය සැපයීම් ඇතුළු අනෙකුත් තව සුළු කාරණා කිහිපයක්.

රෝහල් තුළ ඖෂධ හිඟයක්

එමෙන්ම බොහෝ අවස්ථාවල අපි දකිනවා කෝවිඩ් රෝගින්ගේ ඥාතින්ට කියනවා අහවල් අහවල් ඖෂධ වර්ග පිටින් ගෙනත් දෙන්න කියලා. රෝහල් වල බරපතල බෙහෙත් හිඟයක් ඇති වී තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහල් තුළත් ලංකාවේ අනෙකුත් රෝහල් වලත් මෙවැනි තත්ත්වයක් තිබෙනවා. වහාම කෝවිඩ් රෝගයට අදාල සහ අනෙකුත් රෝග වලට අවශ්‍ය කරන හිඟ ඖෂධ වර්ග වහාම රෝහල් වලට සැපයියි යුතුව තිබෙනවා. ඇතැම් ඖෂධ වර්ග පෞද්ගලික අංශයෙනුත් ලබා ගැනීම ඖෂධ වර්ග නොමැති කම නිසා බරපතල ඛේදවාචකයක් ඇති වී තිබෙනවා.“ යැයි පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles