Saturday, September 21, 2024

බදියුදීන්ගෙන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණීය තර්ජනයක්

පාස්කු ඉරු දින ප්‍රහාර මලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර රෝහලේ දී වෛද්‍යවරයකුට බැණ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට අදාළව වෛද්‍යවරයා විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මෙන්ම වැලිකඩ පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබූ අතර, පසුව පොලිස් බලප්‍රදේශයට අනුව බොරැල්ල පොලිසියට ද ඊයේ (21) මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක කර ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

බොරැල්ල පොලිසියේ පැමිණිල්ලට අදාළව විමර්ශන පොලිස්පතිවරයාගේ නියමයෙන් තම කොට්ඨාසයට බාරගෙන සිද්ධියට අදාළව පැමිණිලිකාර වෛද්‍යවරයාගෙන් වැඩිදුරටත් ප්‍රකාශයක් සටහන් කරගත් බව ද කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළේය.

“තමුසේ දන්නේ නැද්ද මම මෙතැනට ආවේ මොනවා කරල ද කියලා. ඒ වගේම තමයි මට තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්, පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගේ කාර් එකයි අළු වෙලා තියෙයි. ඒක හොඳට දැන ගන්නවා. එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක්, ළමයින්ට තාත්තා කෙනෙක් තමයි නැති වෙන්නේ. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්” යැයි සඳහන් කරමින් සැකකාර රිෂාඩ් බදියුදීන් යන අය බැණ තර්ජනය කළ බවට වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැකකාර හිටපු අමාත්‍යවරයා එම අවස්ථාවේදී තමාට තර්ජනාත්මකව බැණ වැදී මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් තමාට දැඩි ලැජ්ජාවක්, පිළිකුලක් මෙන්ම දැඩි මරණ බයක් ද ඇති වූ බවත්, මෙම සිද්ධිය ප්‍රතිකාර සඳහා පැමිණ සිටි රැඳවියන් ද බලාගෙන සිටි බවත් සඳහන් කර ඇති පැමිණිලිකාර වෛද්‍යවරයා, තමාගේ මෙන්ම තම පවුලේ අයගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පැමිණිල්ල කරන බවත් සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles