ජගත් පරිසර දිනය හෙට මිහිතලයට දරාගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත් වෙමු – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

0
643

presidentමිහිතලයට දරා ගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත් වීමට මිනිසාට බල කෙරෙන පාරිසරික සාකච්ඡාව ශ්‍රී ලාංකික ජනතාව අතරට ගෙන යැමට මෙවර ජගත් පරිසර දිනයේදී හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.හෙටට (05 වැනිදා) යෙදෙන ජගත් පරිසර දිනය නිමිත්තෙන් නිවේදනයක්‌ නිකුත් කරමින් ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්‌වේ.

මිනිසා සංස්‌කෘතික සත්ත්වයකු ලෙස සෙසු සත්ත්ව ලෝකයෙන් ඉහළට එසැවෙන්නේ ස්‌වාභාවික පරිසරය ජය ගැනීමෙනි. තම පැවැත්ම වඩාත් සුරක්‍ෂිත කර ගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍ය වූ නිවාස, මංමාවත් ආදිය වෙනුවෙන් ස්‌වාභාවික පරිසරය යම් පමණකට වෙනස්‌ කිරීමට මිනිසාට සිදු වුවද, එහි සීමාව මිනිසා දැන සිටිය යුතු බව, පරිසරය අප වෙත විටින් විට කරන අනතුරු ඇඟවීම්වලින් පැහැදිලිය.

අද වන විට පරිසරය යනු ස්‌වභාව සෞන්දර්යය පිළිබඳ ආකර්ෂණීය සිතුවම ඉක්‌මවා ගිය විද්‍යාත්මක සන්දර්භයක කෙරෙන තීරණාත්මක සාකච්ඡාවකි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම හේතුවෙන් ලෝකය සතු ගොඩ බිම් ක්‍ෂය වී යැම ද දේශගුණික විපර්යාස හේතුවෙන් මතු වී ඇති ගැටලු ද කාර්මීකරණයේ ප්‍රතිඵල ලෙස කාබන් විශාල වශයෙන් වායුගෝලයට එක්‌ වීමෙන් මතුවන ශ්වසන ආබාධ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම් ද මෙම සාකච්ඡාව තව තවත් තීව්‍ර කරන බව පෙනේ.

ලොව සියලු දියුණු ජාතීන් ඉහළම ප්‍රමුඛතාවයෙන් යුතුව මෙම මාතෘකාවට ප්‍රවිෂ්ඨව ඇත්තේ, ස්‌වභාවධර්මයට එරෙහිව මිනිසාට පැවැත්මක්‌ නැති බවට වන ඒ සත්‍යය ගැඹුරින් තේරුම් ගනිමිනි.

අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙන්නේ මේ තීරණාත්මක සාකච්ඡාව පොදු ජනයා අතරට වඩ වඩාත් ගෙන යැම වෙනුවෙනි.

දැන් දැන් ස්‌වාභාවික විපත්වලින් පීඩා විඳින රටවල් අතරට එක්‌ වෙමින් සිටින අප ද පරිසරය පිළිබඳ මෙම පණිවුඩය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය බව සිතමි.

මිහිතලයට දරා ගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත් වීමට මිනිසාට බල කෙරෙන මෙම පාරිසරික සාකච්ඡාව, ශ්‍රී ලාංකික ජනතාව අතරට ගෙන යැමට මෙවර ජගත් පරිසර දිනයේදී හැකි වනු ඇතැයි විශ්වාස කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here