පෙරේදා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ රටවල් 19න් 13ක් ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළේය. වෙනිසියුලාව, කියුබාව, රුසියාව, චීනය, පාකිස්තානය, එරිත්‍රියාව, ඊජිප්තුව, කොරියාව, බෙලරූස්, සිම්බාබ්වේ, ලාඕසය,
ඉරානය සහ අසර්බයිජානය එසේ ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළ අතර මූලික කණ්ඩායම වෙනුවෙන් එක්සත් රාජධානිය ද, යුරෝපා සංගමය වෙනුවෙන් ස්ලෝවෙනියාව ද, ඊට අමතරව නෝර්වේ සහ චෙක් ජනරජය ද ගැටලු මතු කළේය.
මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීම්වලට එරෙහි බව චීනය සිය ප්‍රකාශයෙන් පවසා සිටියේය. ශ්‍රී ලංකා මානව හිමිකම් සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම සහ ආරක්‍ෂා කිරීම, ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් එමගින් ප්‍රශංසා කළේය. ශ්‍රී ලංකාවට අදාළව, ජාතික සංහිඳියාව සහ මානව හිමිකම් යන අංශයන්හි වැඩිදියුණු කිරීම සඳහා ඉඩකඩ පවතින අතර, රජය විමර්ශන කොමිෂන් සභාව මඟින් පරීක්ෂණ ඇතුළු විවිධ පියවර ගෙන යන බව වැටහී ඇති බවත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ස්වේච්ඡාවෙන් ක්‍රියා කිරීම අඛණ්ඩව සිදු කිරීම වැදගත් වන අතර ජාත්‍යන්තර ප්‍රජාව මෙම උත්සාහයේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවත් කවුන්සිලය ඇමතූ ජපන් නියෝජිතයා පැවසීය. ශ්‍රී ලංකා රජය සිය මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීම සහ වගවීම සහතික කිරීම සඳහා අඛණ්ඩව ගෙන යන උත්සාහයන් පිළිගන්නා පැවසූ කොරියානු නියොජිතයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ සමීප සහයෝගයෙන් ශ්‍රී ලංකාව ජාතික සංහිඳියාව ගොඩනැගීම සහ යුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළේය. විදේශ අනුග්‍රහය ලත් ත්‍රස්තවාදයට එරෙහිව අරගලයේදී ශ්‍රී ලාංකික ජනතාව විඳින දුක් වේදනා කවුන්සිලය අමතක නොකළ යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ ආර්ථික ජයග්‍රහණ ප්‍රශංසනී බවත් පාකිස්තානයේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජික ඛලීල් හෂ්මි පැවසීය. ශ්‍රී ලංකාව සමඟ තාක්‍ෂණික සහයෝගීතාව ඇතුළුව අව්‍යාජ සංවාදයක් ඉල්ලා සිටින බව ද ඔහු කීය. රුසියාව සිය නිවේදනයෙන් දක්වා ඇත්තේ මානව හිමිකම් ගැටළු විසඳීමට සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ සහයෝගීතාවයක් ගොඩ නැගීමට ශ්‍රී ලංකාවේ බලධාරීන්ගේ කැපවීම අගය කරන අතර, සියලුම කොටස් නියෝජනය කිරීමට ඉඩ සැලසීමේ ප්‍රතිපත්තිය පිළිබඳ සාධනීය ආකල්පයක් දරන බවයි. ඉන්දියාව සිය නිවේදනය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ නිශ්චිත කිසිවක් සඳහන් කිරීමෙන් වැළකී සිටියද ගෝලීය ප්‍රවර්ධනය හා මානව හිමිකම් සුරැකීම සඳහා ඉන්දියාවේ ප්‍රවේශය පදනම් වී ඇත්තේ බහුත්ව සමාජයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් ලබන තමන්ගේම අත්දැකීම් මත බවත් මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්‍ෂා කිරීම වඩාත් හොඳින් කළ හැක්කේ රාජ්‍යයන් අතර සංවාදය, සාකච්ඡා හා සහයෝගීතාව තුළින් සහ තාක්‍ෂණික ආධාර සැපයීම සහ ධාරිතා වර්ධනය තුළින් බව විශ්වාස කරන බවත් පැවසීය. ජාතික ස්වෛරීභාවය හා රාජ්‍යයන්ගේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි නොගසා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ඕනෑම අඩුපාඩුවක් විනිවිදභාවයෙන් හා අපක්ෂපාතී ලෙස විසඳිය යුතු බවද එහි වැඩි දුරටත් සඳහන් විය.