ලොහාන් ගැන සුදුසු පියවරක් ගන්නවා – සාගර කාරියවසම්

0
333

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාරවලට,බීමතින් සිය මිතුරන් පිරිසක් සමඟ අයුතු ආකාරයෙන් ඇතුළු වු බවට චෝදනා එල්ල වී ඇති, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම විධායක කමිටුව රැස්වී, සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්නා බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවැසීය .

ඉතාලියේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සති අන්තයේ දිවයිනට පැමිණීමට නියමිත බැවින්, අගමැතිවරයා පැමිණි පසු පක්ෂයේ මධ්‍යම විධායක කමිටුව රැස්වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය .

අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට බීමතින් ඇතුළුවී අයුතු ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ලොහාන් රත්වත්තේ මහතා එහි වගකීම භාර ගනිමින් ,ඔහු එතෙක් දැරූ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉකුත් බදාදා ඉල්ලා අස්විය

ඔහු එක් රාජ්‍ය අමාත්‍ය ධුරයකින් ඉවත් වූ නමුත්, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය තවදුරටත් කටයුතු කරයි.

ලොහාන් රත්වත්තේ මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කර ,නිති ය ක්‍රියාත්මක කරන ලෙසට පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති අතර ඔහුගේ අනෙක් රාජ්‍ය අමාත්‍ය ධූරයද ඉවත් කරන ලෙස විවිධ පාර්ශව රජයෙන් ඉල්ලා ඇත .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here