Thursday, December 26, 2024

නීති විරෝධී මත්පැන් බීලා ජනතාව ලෙඩවෙනවා ඒකයි බාර් ඇරියේ, සල්ලි නෑ කිව්වාට බලන්න එපෑ පෝලිම් – ඇමති රෝහිත

රට පුරා බලපත්‍රලාභී මත්පැන්හල් විවෘත කළේ රජයේ අනුමැතියෙන් පසුව පමණක් බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. ගම්මාන වල නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරන ලද මත්පැන් බොහෝ පුද්ගලයින් පරිභෝජනය කරන බැවින් එම බාර් නැවත විවෘත කිරීමට පියවර ගත් බවත් එය සෞඛ්‍ය ගැටලු ඇති කිරීමට ඉඩ ඇති බවත් ඔහු පැවසීය.

රජයේ අවසරයකින් තොරව මත්පැන් අලෙවිසැල් විවෘත කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

රටවැසියන් රජයෙන් සහන දීමනා ඉල්ලා සිටියත් බාර් අසල පෝලිම් දුටු විට රටවැසියන් හට මුදල් අපහසුතා තිබේද යන්න පිළිබඳ ගැටළුවක් මතුවන බවත් ඔහු මෙහිදී පැවසුවා.

ගම්වල නීති විරෝධීව නිෂ්පාදනය කරන මත්පැන් බොහෝ දෙනා මිලදී ගනිමින් සිටින බවත් ඒවා සෞඛ්‍යට අහිතකර බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“ඔව් ඉතිං රජයෙන් අවසරයක් නොදී බාර් අරින්න බැහැනෙ. රජයෙන් අවසරයක් දුන්නාම තමයි ඒ මත්පැන්හල් විවෘත කරලා තියෙන්නෙ. ලියාපදිංචි තැන් විවෘත කිරීමක් කරලා තියෙන්නෙ. දැන් ගම්වල හැමතැනකම නොයෙකුත් නීත්‍යානුකූල නොවෙන මත්ද්‍රව්‍ය එන්න එන්නම වැඩිවෙලා තියෙනවා. එතකොට මේක එච්චර සුබවාදී වැඩක් නෙවෙයි. මිනිස්සු මේවා බීලා ඉතාමත්ම රෝගීන් බවට පත්වෙනවා. ඉතිං ලොකූ ප්‍රශ්නයක්.

දෙයිහාමුදුරුවනේ සල්ලි නෑ, සල්ලි නෑ කිව්වාට බලන්න එපැයි බාර් ගාවට ගියාම ! දැන් අපෙන් කියනවා රුපියල් 2000ක් දෙන්න කියනවා කන්න නෑ කියලා 5000ක් දෙන්න කියනවා. බාර් ටික ඇරලා තියපුවාම මගෙ අම්මේ ඊයෙ කිලෝමීටර් එකහමාරක් විතර තිබුණා පෝළිම”

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (18) කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඊට පෙර ප්‍රකාශ කර තිබුණේ මත්පැන් අලෙවිසල් විවෘත කිරීම සඳහා තමන් අවසරයක් ලබා නොදුන් බවකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles