මහජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම අධිකරණ සේවාවක් ලබා දීමට සියලු අධිකරණ සංකීර්ණවල යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩි දියුණු කිරීමට අය වැය යෝජනා යටතේ රුපියල් මිලියන 500ක් යෙදවීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ සේවා කොමිෂන් සභාව අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අස්සන් තැබිණි.
යුක්තිය පසිඳලීමේ කාර්යය භාර්ය වඩාත් සාර්ථකව හා කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා අධිකරණ කළමනාකරණ හා පරිපාලන කටයුතු වඩාත් පහසුවෙන් මහජනතාවට ඉටුකර දීමට අධිකරණ සේවයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය අය වැය යෝජනාවේ 442 ශීර්ෂය යටතේ රුපියල් මිලියන 500ක් ලබා දීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව අවබෝධතා ගිවිසුමක් පසුගිය දා අධිකරණ අමාත්‍යාංශයේ දී අස්සන් තැබූ අතර ඊට අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රදීප් ජයතිලක මහතා අස්සන් තැබූ බව අධිකරණ අමාත්‍යාංශය පැවසීය.
අධිකරණ සේවා කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේදයන් වඩාත් දියුණුමට්ටමකට ගෙන යමින් ඉක්ටා ආයතනය හා විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව තොරතුරු තාක්ෂණික වැඩසටහනක් දියත් කිරීමට මේ මුදල් වැය වන අතර සියලුම අධිකරණ සංකීර්ණවල දෛනික උසාවි කටයුතු වඩාත් පහසු කිරීම සඳහා ඊ ලිපිගොනු පවත්වාගෙන යෑම, ජාල ගත කිරීම, අධිකරණ වාර්තා දත්ත ගබඩා වැඩිදියුණු කිරීම, භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීම, අධිකරණ පරිපාලන කටයුතු තොරතුරු තාක්ෂණය මත වඩාත් පහසුවෙන් ඉටු කිරීම යන ක්ෂේත්‍රයන් දියුණු කිරීම වෙනුවෙන් මේ මුදල් යොදවන බව අධිකරණ අමාත්‍යාංශය කියයි.
නව වැඩපිළිවෙළ පිළිබඳව අදහස් දැක්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
පසුගිය ජනවාරි 8වෙනි දිනෙන් පසුව ඇරඹූ නව රජය යටතේ මෙරට අධිකරණ පද්ධතිය නීතියේ ආධිපත්‍යසුරක්ෂිත කිරීම සඳහා ගනු ලැබූ ජනතාවාදී තීන්දු මෙරට අධිකරණ පද්ධතිය යුක්තිය පසිඳලීමේ කාර්ය භාර්ය පිළිබඳව මහජන විශ්වාසය තහවුරු කර තිබෙනවා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙරටට හඳුන්වා දුන් කොමිෂන් සභා ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ යෝධ පියවරක්. එය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට හේතු සාධක වී තිබේ.
මෙරට අධිකරණ පද්ධතිය ලෝකයේ දියුණුම අධිකරණ පද්ධතියක් ලෙස වැඩිදියුණුකිරීමට පියවරින් පියවර කටයුතු කරන බවද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීය.