Friday, September 20, 2024

ඉන්ටර්නැෂනල් වයිරල් ලිස්ට් එකේ තුන්වැනි තැනට ආපු මැණිකේ ඉන්දියානු චිත්‍රපටයකට

පසුගිය දවස්වල ශ්‍රී ලාංකීය සංගීත ක්‍ෂේත්‍රය වගේම ජාත්‍යන්තර සංගීතයත් කතා කරපු මාතෘකාව වුණේ මැණිකේ මගේ හිතේ ගීතය. මොකද ඒ තරමට විශාල අකර්ෂණයක් මේ ගීතයට ජාත්‍යන්තරය තුළත් ලැබී තිබුණා. ශ්‍රී ලංකාව තුළ කෙටි කාලයක් තුළදී වැඩිම පිරිසක් නැරඹූ ගීතය ලෙස මැණිකේ මගේ හිතේ ඉතිහාස ගත වුණා. මේ ලිපිය ලියන මොහොත වනවිටත් එය නැරඹුම්වාර මිලියන සියයද පසුකර තිබෙනවා. ශ්‍රී ලාංකික ගීතයක් මෙය අසලටවත් ඒමට සමත් වී නැති බව තමයි වාර්තා පවසන්නේ. එමෙන්ම දිනකට මෙම ගීතය නරඹන ප්‍රමාණය මිලියන 2 ට වැඩියි. මේ නිසා මැණිකේ මගේ හිතේ කියන්නේ ලෝකයම කළඹපු ගීතයක්.

දිනකට නැරඹුම් වාර මිලියන 2 ක් සනිටුහන් කරන මෙම ගීතය ජාත්‍යන්තර මට්ටමින්ද 3 වැනි ස්ථානය හිමිකරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ගීතය වී ඇත්තේ ද තවම මේ ගීතයයි. මීට අමරතව ඉන්දියාවේ, ඔස්ට්‍රේලියාවේ, ඩුබායි ඇතුළු රටවල් විශාල ප්‍රමාණයට වැඩිම නැරඹුම් වාර ප්‍රමාණයක් නරඹන ගීතය ලෙසද මෙය ඉදිරියෙන්ම වැජඹෙනවා. පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කල ආකාරයට ඉන්ටර්නැෂනල් වයිරල් ලිස්ට් එකේ සිංහල ගීතයක් 3 වැනි ස්ථානය වෙන්කරගෙන ඇත්තේ ප්‍රථම වතාවටයි.

මැණිකේ මගේ හිතේ ගීතයේ අලුත්ම කතාව තමයි මේ ගීතය ඉන්දියාවේ ටී සීරිස් ආයතනය මිලදීගෙන ඇති බව. ඉන්දියාවේ පමණක් දැනට භාෂා 50 කට වඩා පරිවර්තනය වී ඇති මෙම ගීතය ටී සීරිස් ආයතනය මගින් අනාගතයේ ඉන්දියානු චිත්‍රපටයකටද යොදා ගැනීමට අදහස් කරන බව වාර්තා වෙනවා. එමෙන්ම ඉන්දියාවේ අතිදක්ෂ ගායකයකු අතින් මේ ගීතය කියවීමටද අදහසක් ඇති බව අපට අසන්නට ලැබුණා.

ශ්‍රී ලාංකීය ගීතයක් ටී සීරිස් ආයතනය මිලට ගත් ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ටී සීරිස් යූ ටියුබ් නාලිකාව යනු ලොව වැඩිම ආකර්ෂණය දිනාගත් ආයතනයයි.

මෙතරම් ඉහළ ජනප්‍රියත්වයක් ලැබූ මැණිකේ මගේ ගීතය අනාගත තත්ත්වය ගැනත් පුංචි අදහසක් එකතු කරන්න මෙහි මුල් ගායක සතීෂාන් අමතක කළේ නැහැ.

හිතුවේ නැති මොහොතක මේ ගීතය ලංකාවේ ආන්දෝලනාත්මක ගීතය බවට පත් වුණා. මේනිසා අපේ වර්තමානයත් සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අනාගතය මීටත් වඩා වෙනස් වෙයි. මොකද ගීතයෙන් ලැබුණ අසීමිත ජනප්‍රියත්වය වගේම මූල්‍යමය පැත්තත් බොහෝදේවල් වෙනස් කරන්න හේතු වුණා. චමත් සංගීත් වැනි හිත හොඳ මනුෂ්‍යයෙක්ට මේ ගීතය නිර්මාණය කරන්න ඉඩකඩ ලැබුණ නිසා එහි ප්‍රතිලාභත් අපි හැමෝටම භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා.

අද දවස වන විටත් මේ ගීතය දිනකට ලක්ෂ 2 ට වඩා බලනවා. ලංකාව ඇතුළේ භාෂා කිහිපයකට ගීතය පරිවර්තනය වෙලා තියෙනවා. කොටින්ම යුගයක් වෙනස් කරපු ගීතය බවට මැණිකේ මගේ හිතේ පත්වෙලා තියෙනවා.

ඒ වගේම මගේ මුල් ගීතයේ නැරඹුම් වාර ප්‍රමාණයත් ඉතා වේගයෙන් වැඩිවෙලා තියෙනවා. යොහානි මේ ගීතය අලුතින් කිව්වේ නැත්නම් කවදාවත් මුල් ගීතයේ නැරඹුම් වාර ප්‍රමාණය මේ තරම් ඉහළ යන්නේ නැහැ. මේ නිසා මට හිතෙන්නේ මේක සාමූහික ප්‍රයත්නයක උතුම් ප්‍රතිඵලයක් කියලා.

මේ වන විට ලෝකයේ ජනප්‍රියම ගීත අතුරින් 3 වැනි ස්ථානය දිනා ගන්න මේ ගීතයට අවස්ථාව ලැබිලා තියෙනවා.

මම හිතන්නේ එය ශ්‍රී ලාංකික ගීතයක් ජාත්‍යන්තරයට ගෙන යාමේ ආරම්භක වෙඩිමුරය වේවි. දැන් ජාත්‍යන්තරයේ අය සිංහල සිංදු හොයන්න පටන් අරන්. ඉස්සර වෙනත් භාෂාවල ගීත තමයි භාෂා කිහිපයකට පරිවර්තනය වෙන්නේ. මැණිකේ මගේ හිතේ සිංහල ගීතයත් භාෂා සියයකට වඩා පරිවර්තනය කරන තැනට ඇවිත්. එය තමයි ජයග්‍රහණය.

මම හිතන්නේ ශ්‍රී ලාංකීය ගීතය ජාත්‍යන්තර වෙළඳපොලට ගෙනයාමේ දොරටුව මැණිකේ මගේ හිතේ ගීතයත් සමග විවර කළා කියලා.

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles