Monday, November 25, 2024

අගමැති සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර හමුවේදී මොකද වුණේ….? විස්තරේ මෙන්න

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර අද (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව මීට ස්වල්ප මොහොතකට පෙර අවසන් විය .

අගමැතිවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වල නායකයන් අතර මෙම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදී පැවැත්විණි .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ,ඩග්ලස් දේවානන්ද , ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, සාගර කාරියවසම් , වීරසුමන වීරසිංහ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වූහ.

ඉදිරි අයවැය,පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් සහ කොවිඩ් අර්බුදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇත.

එම සාකච්ඡාවේ දී යුගදනවි බලාගාරයේ අර්බුදය සම්බන්ධයෙන්  විමල් වීරවංශ ඇමතිවරයා මුලින්ම විමසා ඇත.

ඊට පිළිතුරු දී ඇති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම ආයෝජකයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක පමණ ආයෝජන මෙරටට ලැබෙන බවත් ,එය රටට වාසිදායක ආයෝජනයක් බවත් පෙන්වා දී ඇත.

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීම ගැටලුකාරී බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමති වාසුදේව නානායක්කාර සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ද පෙන්වා දී ඇත.

එම සාකච්ඡාව පැය දෙකක් පමණ තිස්සේ ඇදී ගොස් ඇති බවද වාර්තා වේ.

මේ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැති විමල් වීරවංශ මහතා යුගදනවි බලාගාරය සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු ඔහු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කීවේය.මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් අත්සන් කොට ජනාධිපතිවරයාට ලිපියක් භාර දෙන බවද ඔහු සඳහන් කළේය.

https://www.facebook.com/NewsfirstSL/videos/337680808141917/

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles