Saturday, September 21, 2024

ආණ්ඩුව වෙනුවෙන් ඩිලාන් බාර් ඇපු වගකීම භාරගනී

බාර් විවෘත කිරීමේ වගකීම භාරගැනීමට කෙනෙක් නැත්නම් තමා එම වගකීම භාරගන්න බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.
බාර් විවෘත කිරීම ගැන කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් බාර් ඇරියට සියලු දෙනාම බොන්න යැයි ආණ්ඩුව ප්‍රකාශ නොකල බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
ඊයේ (23) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේ දි පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.
“ඊයේ එක්තරා නැගෙනහිර පළාතේ මන්ත්‍රිවරයෙක් රටේ නායකයාට තව මොහොතකින් හූ තියයි කියලා බලාගෙන ඉන්නවා කිව්වා. ඒ දේශපාලනඥයා දේශපාලන පිංපියෙක් නිසා රටක් රාජ්‍යයක් ගමක් නැති නිසා එයාට ඒක සන්තෝසයට කාරණයක් වුණාට රටක් හැටියට අපේ රටේ ඕනම කෙනෙකුට පිටරට ගියාම  ඒ තත්වය උදාවෙනවානම් ඒකට රටේ ලාංකිකයෝ කැමතිවෙන්නේ නෑ.  


ඥානසාර හිමිට එරෙහිව පරීක්ෂණයක්?


අපේ ඥානසාර හමුදුරුවෝ මෑතකදී නාලිකා 02 ට තවත් සහරාන් වර්ගයේ ප්‍රහාරයක් වෙනවාය යනාදි වශයෙන් ප්‍රකාශයක් කළා. හැබැයි උන්වහන්සේ මේ කියන කතා පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්න ඕන. මොකද උන්වහන්සේ කියන ඒකේ ඇත්ත අපි හෙළිදරව් කරගත යුතුව පවතිනවා. එහෙම නැත්නම් නැවත ප්‍රහාරයක් සිද්ධ වුණයින් පස්සේ උන්වහන්සේ අද කාදිනල් උන්වහන්සේට දික්කරන ඇඟිල්ල අපිටද දික් කරයි.
අද රටේ ආරක්ෂක තත්වය ඉතාම හොඳයි. එහෙම ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට කටයුතු කරනවා කියලා ජනතාවට ගෝඨාභය මහතා විශ්වාසයි. එතුමා කොටි පරාජය කිරීම සඳහා තිරේ පිටුපස විශාල මෙහෙයුමක යෙදුණා. ඒ විශ්වාසය නැති කරන්න තමයි අද විරුද්ධ පක්ෂයේ ඇතුළේ ඉඳගෙනම විරුද්ධ පක්ෂ නායකතුමාට පිටිපස්සේ සිට පිහියෙන් ඇනගෙන ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න හින්දෑරි උන්වහන්සේගේ කණ්ඩායම සූදානම් වෙන්නේ. ඔවුන් සිංහල සහ ක්‍රිස්තියානි පල්ලි අතර යම් ගැටුමක් ඇති කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ද කරගෙන යනවා.


බැසිල් ගැන බලාපොරොත්තුවක්


ඇත්තටම මේ රටට අවශ්‍ය කරන්නේ අවුරුදු 10 – 15 ට ජාතික න්‍යාය පත්‍රයක්. සියලුම පක්ෂවලට සියලුම ජනකොටස්වලට පිළිගන්න පුළුවන් ජාතික න්‍යාය පත්‍රයක් හදන එකයි අවශ්‍යය. ඒ න්‍යාය පත්‍රය මොන ආණ්ඩුව ආවත් මොන ජනාධිපති පැමිණියත් ක්‍රියාත්මක වෙන තත්වයකට ගේන්න ඕන. එතනට තමයි මේ රට ගමන් කළ යුතුව පවතින්නේ. එතනට මේ රටට ගමන් කරන්න අවශ්‍යකරන ආර්ථික පැත්ත පිළිබඳ යම් දිශාවක් , දර්ශනයක් අලුත් මුදල් ඇමතිතුමා ඊළඟ අයවැයෙන් පෙන්වයි කියා අපි හිතනවා. මුදල් ඇමතිතුමාගේ ඉලක්කය එතුමාගේ මුදල් ඇමතිධුර කාලය තුළ අවුරුදු ගණානවක් තිස්සේ පැවති අපේ රටේ ආදායම අඩුවීම හා වියදම වැඩිවීම නැති කර අයවැයක් නිර්මාණය කිරීමයි.
මේ වෙලාවේ අපි සියලුදෙනා එකතුවෙලා රට ගැන හිතලා බොරදියේ මාළු බාන්නේ නැතිව රටක් හැටියට අපි කටයුතු කරන්නයි අවශ්‍ය. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රවරු මමත් ඇතුළුව අපි අපි ගැනම ස්වයං විවේචනයක් කරගෙන මිනිස්සු හැටියට අපි එකතුවෙලා මනුෂ්‍යයෝ හැටියට ගතින් හා හිතින් පිරිසිදුවෙලා කටයුතු කරනවානම් හෙට හොඳ දිනයක් නිර්මාණය කරන්න අපිට අමාරු වෙන්නේ නෑ.
අතිගරු ජනාධිපතිතුමා ඇමරිකාවට ගිය අවස්ථාවේ ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. එතුමා මේ රටේ ජාතික සමඟිය වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරන්න සුදානම් කියලා.  මෙයත් සමහර අයට විහිලුවක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාව නොවේ. ඒ නිසා එතුමා දෙමළ ඩයස්පෝරාව සමඟ කතා කිරීම සඳහා ගත් තීන්දුව විශිෂ්ඨ ගණයේ නායකයෙක් ගත්ත තීන්දුවක්. ” යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles