කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීමේ ගනුදෙනුව ශ්‍රී ලංකාවට ඉතාම වාසිදායක බවත් ඊට එරෙහි වී සිටින්නේ මෙරට විදුලි මාෆියාව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.
ඒ මහතා ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස් පහතින් දැක්වේ.
“කෙරවලපිටිය ගැන තවදුරටත්
ඇතැමුන් ප්‍රශ්න කර තිබුණේ ටෙන්ඩර් කැඳවා තිබූ අවස්ථාවක ටෙන්ඩර් නොමැතිව ඇමරිකානු සමාගමට ගෑස් බලාගාර ආයෝජනය ලබා දුන්නේ ඇයි ද යන්නයි. ඇත්ත වශයෙන්ම ඇමරිකානු සමාගමට මෙය ලබා දීමට පෙර කැඳවා තිබූ ටෙන්ඩර් විවෘත කරනු ලැබීය. මේ සඳහා ලැබී තිබුණේ ටෙන්ඩර් දෙකක් වන අතර පසුව එක් ටෙන්ඩර්යක් ඉවත් කරගෙන තිබුණි. කෙසේ වෙතත් ඉතිරි ටෙන්ඩරයද රජයට පිළිගත හැකි තත්වයක තිබුණේ නැත. විශේෂයෙන්ම ඉදිරිපත් කර තිබූ මිළ ගණං ඉතා අධික විය. ඔවුන් ඉදිරිපත් කළ මිළ වූයේ ඒකකයකට ඩොලර් 3.15කි. එහෙත් ඇමරිකානු සමාගමේ මිළ ඩොලර් 1.40කි. ඒ අනුව රටට වන ලාභය සිතාගත හැකිය.
මේ අතර, මේ වන විට ලංකාවේ විදුලි මාෆියාව කැළඹ ඇති බව පෙනී යයි. ඊට හේතුවක් තිබේ. LNG බලාගාරයෙන් නිපදවෙන විදුලිය තාප විදුලියට වඩා අඩකින් පමණ ලාභය. කෙරවලපිටියෙන් දැන් ආණ්ඩුව රුපියල් 19කට ඒකකයක් ගනු ලැබේ. එහෙත් නව බලාගාරය ද සමග මිළ අඩකින් පමණ කපා හැරෙනු ඇත. එහි වාසිය මෙරට පාරිභෝගිකයාටය. මෙහි අතුරු ඵලයක් ලෙස ආණ්ඩුවට වෙනත් පෞද්ගලික විදුලි සැපයුම්කරුවන් සමග කේවල් කිරීමේ හැකියාව ලැබේ. ඒ අනුව, ඔවුන්ද රජයට විදුලිය සපයන මිළ පහත දැමිය යුතුය. එසේ නොකරන්නේ නම් ඒවා මිළට නොගෙන සිටිය හැකිය. මාෆියාවට වැඩිපුර රිදී ඇත්තේ මේ නිසාය.
මෙම ආයෝජනයට එරෙහි වන්නන් තීරණය කළ යුත්තේ තමන් විදුලි මාෆියාව වෙනුවෙන් පෙනී සිටිනවා ද ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද යන්නයි.”
– මහින්ද පතිරණ