Tuesday, April 30, 2024

වසරේ ආදරණීයම මලයාලම් චිත්‍රපටය ‘HOME’ (2021)


මලයාලම් සිනමාව ඉන්දීය සිනමාව තුළ කර්මාන්තයක් විදිහට කොච්චර ශක්තිමත්ද කියන එක පෙන්නන චිත්‍රපටයක් විදිහට ‘Home’ හඳුන්වන්නට පුළුවන්. මෙයාලා යථාර්ථවාදීව කතන්දර ගොතනවා කියන එකත් සමහරක් අවස්ථාවලදී සාපේක්ෂයි. නමුත් මැජිකලි ඉන්දීය සිනමාවක් වෙනුවෙන් ලබාදෙන දායකත්වය ඉතා ඉහළයි. ගුණාත්මක සමබර බවක් ආරක්ෂා කරගෙන මෙන්න නිකුත්වෙලා තියෙනවා වසරේ ආදරණීයම මලයාලම් පෙරළිය. 
මූලිකවම මේක ෆැමිලි කතන්දරයක් යටතටයි වැටෙන්නේ. පවුලක් කියන සාධකය ඇතුළට ඉතින් හැම මනුස්ස හැඟීමක්ම ඇතුළත්. පණ දෙන්න තරම් ළඟින් ඉන්න තරමටම රණ්ඩු සරුවල් ඇතිවෙනවා. ප්‍රීතිමත් අවස්ථාවන් වගේම ශෝකී අවස්ථාවන් මතුවෙනවා. පවුලක් කියන්නෙ එහෙම තැනක්. සෙනෙහෙ පිරුණු කැදැල්ලක් වගේම වෙලාවකට නාඩගම් මඩුවක්. “කොහේ හිටියත් ගෙදර ඉන්නව වගේ නෑනේ” කියන හැඟීම නිරායාසයෙන්ම මතුවෙන්නෙත් ඒ හින්දම තමයි. නමුත් වැඩිපුරම සිද්ධ වෙන්නේ පවුලක් විදිහට එකට බැඳෙනවට වඩා කාලයත් එක්ක පවුලක් විසිරිලා යන්න තියෙන ඉඩකඩ වැඩි වීමයි. පවුලක් විසිරෙන්න නම් සාධාරණ කාලීන හේතු කාරණා රැසක් බලපානවා. #Home ඇතුළෙ කතා කරන්නෙත් එවන් විසිරීමක් ගැනයි. නමුත් ඒක පවුලක් විදිහට එක වහළක් යට ඉන්න අතරෙම සිදු නොවිය යුතු දෙයක්. 

මෙහිදී මුණගැහෙන හැම චරිතයක්ම සැබෑම ඒවා කියල දැනෙයි. ප්‍රධාන වශයෙන් මේ ඉන්න අම්මා හැම ගෙදරකම ඉන්න අම්මා. ලොකු පුතා හැම ගෙදරකම ඉන්න ලොකු පුතා. පොඩි එකා හැම ගෙදරකම ඉන්න පොඩි එකා. සීයා වුණත් එහෙමයි. හැබැයි තාත්තා නම් හැම ගෙදරකම ඉන්න තාත්තා නෙමේ. මේ කට්ටිය දිහා බලනකොට ඔන්න ඔය කාරණා ටික හයිලයිට් වෙලා පෙනෙයි. අපේ ගෙදර, අල්ලපු ගෙදර, නෑදෑ හිතමිතුරන්ගේ ගෙවල්වල මේ හැම චරිතයක්ම අපි දැකල ඇති. මේ අයගෙ හැසිරීම් රටා අපි පෞද්ගලිකව අත්විඳලා ඇති. එතකොට තාත්තගෙ චරිතය? ඒක තමයි විශේෂත්වය. මේ තාත්තව අපි දැකලත් ඇති, හැබැයි අපට පෙනි පෙනීම අපි නොදකිනවත් ඇති. සමහරවිට (හෝ බොහෝවිට) අපි දැකලත් නොදැක්කා වගෙ ඉන්නවා ඇති. ඒ තාත්තව අඳුරගන්න, අවබෝධ කරගන්න, ඒ තාත්තට ළංවෙන්න මේ නිර්මාණය යම්කිසි මඟපෙන්වීමක් සිදුකරාවි. ඒ වගේම මේ අවුරුද්දෙ මලයාලම් සිනමාවෙන් දැකපු හොඳම රංගනයන් විදිහට වෙල්ලම් හි ජයසූර්යා, මාලික් හි ෆහද් ෆාසිල් මතක් වෙනව වගේම හෝම් හි ඉන්ද්‍රන්ස් වත් අනිවාර්යයෙන්ම මතක් වෙයි. 

තවත් බොහෝමයක් කාරණා මේ ඇතුළේ කතා කරන හැටි දකින්නට ලැබෙයි. ඒ ගොඩක්ම දේවල් කනේ පාරවල්, සැර ටොකු, පපුව පාසාරු කරන කිණිසි ප්‍රහාර වලින් සන්නද්ධයි. සමහරවිට ළඟින්ම ඉන්න අයව මිස් වෙන්නෙත් හිතාමතාම නෙමේ. ලෝකෙත් එක්ක හැල්මෙ දුවනකොට මිස් වෙලා කියල තේරුම් යන්නෙත් නැති තරම්. ඇත්තටම අපිට සර්වසම්පූර්ණයිද, මොනාම හරි මිස් වෙලාද කියල ආයෙම පාරක් හිතන්න ඉඩක් ලැබෙයි. ෆිල්ම් එකක් එක්ක ගත කරන කාලය ඇතුළෙ එච්චර දේවල් ගැන අවංකවම හිතන්නත් අවස්ථාවක් ලැබෙනව කියන්නෙ ඉතින් මාරම වැඩක් තමයි. ඔව්, එහෙම මාරම වැඩ වලට හොඳම නිවහනත් මලයාලම් සිනමාවම තමයි. 

සිනමා විචාරක
ලක්ෂ්මන් අරංවල

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles