Sunday, September 22, 2024

සෑම දරැවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදීමට යෝජනාවක්

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ම ජාතික හැදුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ, ළමා අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා එය යෝජනා කරන බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ වයස අවුරුදු 16 ට හෝ ඊට පෙර එම අංකය සහිත ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ළමා අයිතිවාසිකම් සහ යහපැවැත්ම තවදුරටත් ශක්තිමත් කරන බවයි.

දරුවන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටවූ තාක්ෂණික කමිටුවේදී මේ බව පෙන්වාදී තිබේ.

එහිදී එන්නත් ලබාදෙන දරුවන් සඳහා හැඳුනුම්පත් අංකයක් නොමැතිවීම පිළිබඳව අවධානය යොමුවී ඇති අතර පවුල් සෞඛ්‍ය කාර්යාංශය මින් පෙර දරුවන් සඳහා උපතේදී ජාතික හැදුනුම්පත් අංකයක් ලබාදීම පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව තාක්ෂණික කමිටුවේ අවධානය එලෙස යොමු කර තිබේ.

තවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය 2020 දෙසැම්බර් 30 වන දින “නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටුව” ට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබුණි.

එහිදී ද ළමා අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා සෑම දරුවෙකුටම උපතේදී ජාතික හැඳුනුම්පත් අංකයක් නිකුත් කරන ලෙසත්, එම අංකය ඇතුළත් හැඳුනුම්පත අවුරුදු 16දී හෝ ඉන් පෙර ඔවුන්ට ලබාදීමට කටයුතු කරන ලෙසත් පෙන්වා දී තිබුණි.

මෙම වැඩසටහන මඟින් ළමයින්ට මෙන්ම රටේ අනාගත පරම්පරාවට ද ප්‍රතිලාභ සැලසෙන ප්‍රධාන කරුණු 5 ක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබෙනවා.

1.මව් රටේ පුරවැසි අයිතිය පිළිබඳ හැඟීමක් දරුවන් තුළ ඇතිවීම.


2.ළමා අපචාර හා ළමා මෙහෙකාර සේවය නිසා දරුවන්ට සිදුවන බලපෑමෙන් ආරක්ෂා කරගත හැකිවීම.


3.දරුවන් සඳහා රට පුරා ඒකාකාරී සෞඛ්‍ය සේවාවක් තහවුරු කරන හඳුනාගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම.


4.දරුවන්ගේ අධ්‍යාපන හා සමාජයීය අවශ්‍යතා සැපිරීමේදී හඳුනාගැනීමේ රහස්‍ය අංකයක් ලෙස භාවිත කිරීම.


5.සීමිත සම්පත් දරුවන් වෙත ලබාදීමේදී සමානාත්මතාවය තහවුරු කරන ක්‍රමවේදයක් ලෙස භාවිත කිරීම.


අද (27) දින ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles