අලුත්වැඩියා කරන මුවාවෙන් ඇවිත් ඒටීඑම් යන්ත‍්‍රයට වැඩේ දීලා

0
303

මින්නේරිය යුද හමුදා සංකීර්ණය අසළ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත‍්‍රය අලූත්වැඩියා කරන මුවාවෙන් පැමිණි සංවිධානාත්මක කණ්ඩායමක් ඉකුත් 26 දා මහ දවල් එම යන්ත‍්‍රයේ සේප්පුව කපා එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් මුදල් සොරාගෙන පළාගොස් ඇත.

මෙම ඒ.ටී.එම්. යන්ත‍්‍රය කපා මුදල් සොරාගෙන ඇති බව දැනගෙන ඇත්තේ ගනුදෙනුකරුවන්ට එම යන්ත‍්‍රය හරහා මුදල් ලබා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලිවලින් පසුව සිදුකළ සොයා බැලීමකදීය.

රාජ්‍ය බැංකුවකට අයත් මෙම ඒ.ටී.එම්. යන්ත‍්‍රය පිහිටා ඇත්තේ මින්නේරිය යුද හමුදා සංකීරණය අසල පිහිටි ගනර්ස් ක්ලබ් ආයතනය ඉදිරිපිටය.

සංවිධානාත්මක කණ්ඩායම ඒ.ටී.එම්. යන්ත‍්‍රය කපා එහි මුදල් සොරාගෙන එම යන්ත‍්‍රය අසල සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතියද ගලවාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මෙම සොරකම සිදුකර ඇත්තේ ඉකුත් (26 දා* උදෑසන 10.00 ත් 12.00 ත් අතර කාල සීමාවකදීය.

ඒ.ටී.එම්. යන්ත‍්‍රය අලූත්වැඩියා කරන මුවාවෙන් ලොරි රථයක පැමිණ ඇති සංවිධානාත්මක කණ්ඩායම යකඩ කපන යන්ත‍්‍ර යොදාගෙන එම යන්ත‍්‍රය පිටුපස කොටස කපා මුදල් සොරාගෙන ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම මහා පරිමාණ සොරකම සිදුවූ අවස්ථාවේ මින්නේරිය කඳවුර අවට ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරීක්‍ෂා කර සංවිධානාත්මක කණ්ඩායම පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි.

මෙම සොරකමට සම්බන්ධ කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇත.

මින්නේරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here