Thursday, September 19, 2024

මාෆියාවට තිත තියන්න ආණ්ඩුවෙන් අලුතින් සහල් මෝල් පහක්

සහල් මාෆියාව මර්දනය කොට සහල් බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සහල් මෝල් පහක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

රට පුරා ස්ථාන පහක රාජ්‍ය අංශයේ මේ සහල් මෝල් ඉදිකෙරෙන අතර, එමඟින් ගොවීන්ගෙන් වී මිලදී ගෙන පාරිභෝගිකයාට සහන මිලට සහල් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා පැවසීය.

භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඊයේ (30) ඇමැතිවරයා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලයේ අවධානය මේ කෙරෙහි යොමු වූ බවය.

මේ වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් මේ තුළින් රටේ සහල් මාෆියාව මැඬලීමට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

‘සහල් මිල පාලනය සහ සහල් බෙදා හැරීමේ වැඩපිළිවෙළ අසාර්ථක වුණේ වී සහ සහල් සම්බන්ධව මිල පාලන ගැසට් පත්‍රයක් නිකුත් කිරීම නිසායි. ගැසට් පත්‍රයක් නිකුත් කිරීමක් තුළින් සාධාරණය ඉටු විය යුත්තේ ගොවියාට සහ පාරභෝගිකයාටයි. නමුත් සහල් සහ වී පාලන ගැසට් පත්‍රය නිසා ඒ වාසිය ගියේ අතරමැදියාටයි. මාස 6ක් මහන්සිවී වගා කරලා ගන්න අස්වැන්නට ගැසට් මඟින් පාලන මිලක් නියම කරන්න සුදුසු නැහැ. මෙසේ අවිධිමත් ලෙස ගැසට් පළ කිරීමේ අවසාන ප්‍රතිඵලය මෙවැන්නක් වුණේ ඒ නිසයි.

වී මිල සම්බන්ධව පාලන මිලක් නිකුත් කිරීම නිසා ගොවීන් අසරණ වුණා. ගොවියාගේ අපේක්ෂාව වන්නේ වැඩි මුදලට වී අස්වැන්න අලෙවි කර ගැනීමයි. එය ඔවුන්ට හිමිවිය යුතුයි. ඒ අතර වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළට ආණ්ඩුවත් මැදිහත් විය යුතුයි. මේ කරුණ ගැන ඇමැති මණ්ඩල රැස්වීමේදීත් සාකච්ඡා වුණා. ඒ අනුව තමයි සහල් මෝල් 5ක් අරඹන්න ආණ්ඩුව තීරණය කර තිබෙන්නේ’ යැයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles