Saturday, September 21, 2024

ගොවීන්ට වන්දි ඉල්ලා අධිකරණයට යනවා – විපක්ෂ නායක

ගොවි ජනතාවට සිදු වූ හානියට, ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවලිය හේතු වූ බවත් ගොවි ජනතාවට සාධාරණයක් ඉටුකර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

ඒ අනුව ඉතා ඉක්මනින් ගොවි ජනතාව වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන බව ද පැවසීය.

ගොවි ජනතාවට නිර්දේශය කරන ලද පොහොර නො ලැබී ඇති බවත්,වල් නාශක සහ කෘෂි රසායන ද්‍රව්‍ය ඉහළ යෑම නිසා ගොවියා පීඩාවට පත්ව ඇති බවත්,මේ හේතුවෙන් අස්වැන්න සහ ආදායම් අඩු වී ඇති බවත් මේ සියල්ල හේතුවෙන් ආණ්ඩුව ගොවි ජනතාවට වන්දි ගෙවිය යුතු බවත් ඒ මහතා පැවසීය .

අද වන විට රටේ ගොවි ජනතාව බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින බවත්,ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවේ පොහොර වැඩපිළිවෙළ සහමුලින්ම ප්‍රෝඩාවක් බවත් ,ආණ්ඩුවේ හිතුවක්කාරී කටයුතු නිසා අසරණව ඇත්තේ ගොවිජනතාව බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ආණ්ඩුව මේ වනවිට ලබාදී ඇති පොහොර නිර්දේශිත පොහොර නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා,වී නොවන බෝග වලට යෙදියයුතු පොහොර වී වගාවට ලබාදි ඇති  බවත් පැවසීය.

ඉතාම ස්වාධීන පර්යේෂණ වලින් හෙළි වී ඇති පරිදි කාබනික පොහොර වලින් ලැබෙන නිෂ්පාදන අස්වැන්න අඩුව ඇති බවත් රසායනික  පොහොර මගින් ලැබෙන අස්වැන්න වැඩි වී ඇති බවත් හෙළි වී ඇතැයි පැවසූ විපක්ෂ නායකතුමා මේ වන විට රජයේ අසාර්ථක ව්‍යාපෘති නිසා සීයට 40ක අස්වන්න කඩා වැටීමක් සිදු වී ඇතැයි ද පැවසීය.

රටට බත සපයන ගොවියා අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත් ඒ පීඩාව ආණ්ඩුවට නොතේරෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් වන ගොවි ජනතාව මුහුණ දෙන ගැටළු පිළිබඳව ගොවිබිමට ගොස් විමසන “ගොවිහදගැස්ම” පළමු පියවර ලෙස ඊයේ (03) හම්බන්තොට, ලුණුගම්වෙහෙර, අග්බෝපුර කලාපයේ ගොවි ජනතාව හමුවිය.

මේ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම පොහොර අර්බුදය හේතුකොටගෙන විශාල වගා බිම් ප්‍රමාණයක අස්වැන්න බොහෝ අඩු වී ඇති බවත්, ගොවීන් විශාල පිරිසක් ගොවිතැනින් ඉවත්ව ඇති බවත් එහි දී අනාවරණය විය.

තමන්ගේ අස්වැන්න අලෙවිකර ගැනීමට පවත්නා ගැටළු පිළිබඳව ද ගොවිජනතාව විපක්ෂනායකතුමාගේ අවධානයට යොමු කළ අතර, ඒ පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් නොමැති වීම පිළිබඳවත් ගොවි ජනතාව අදහස් දැක්වූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles