Saturday, September 21, 2024

ත්‍රීකුණාමලේ ඉතිරි තෙල් ටැංකිත් ඉන්දියාවට දෙන්න සූදානම් – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අවධාරණය කරයි

කුණාමලය තෙල් ටැංකි සංකීර්ණය දීර්ඝ කාලීනව ඉන්දියාවට පවරාදීමට රජය සුදානම් වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

පළමු ලෝක යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිර්මාණය කරන ලද මෙම තෙල් ටැංකි සංකීර්ණයට ආරම්භයේදී ටැංකි 101ක් අයත්ව තිබිණ.

දෙවන ලෝක යුද්ධයේ බෝම්බ ප්‍රහාරයක් අතරතුර එකක් අනතුරට ලක්වූ අතර එය භාවිතයට ගත නොහැකි ලෙස විනාශ වී ඇත.

දැන් එයින් ඉතිරිව තිබෙන්නේ ටැංකි 99 ක් පමණි.

එය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව තිබෙන එකම තෙල් ටැංකි සංකීර්ණය යි.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහත්වරුන් විසින් 1987 දී අත්සන් තබන ලද ඉන්දු ලංකා ගිවිසුම අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර වෙනත් කිසිඳු රටක් සමග ගනුදෙනු කිරීමට ශ්‍රී ලංකාවට හැකියාවක් නැත.

2003 දී මෙරට අගමැතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ඛනිජ තෙල් (IOC) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබීය.

එම ගිවිසුම ප්‍රකාරව, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 වසර 35ක කාලයක් සඳහා බදුදීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දීය IOC සමාගමට පවරනු ලැබිණ.

එතැන් සිට IOC සමාගම පාවිච්චි කර තිබෙන්නේ ඒ අතරින් ටැංකි 15 ක් පමණක් බව බනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

2017 වර්ෂයේ මෙම තෙල් ටැංකි සංකිර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවක කැබිනට් අනුමැතියද හිමි වී තිබූ බව ඔවුහු කියති.

එහි සඳහන්ව තිබුණේ IOC සමාගම යටතේ පවතින ටැංකි 15 දිගටම එම සමාගමට බදු දීමටත්, ටැංකි 10 ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමටත්, ඉතිරි ටැංකි 74, IOC සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ හවුල් කාරිත්වය දරන නව සමාගමක් මගින් සංවර්ධනය කිරීමටත්ය.

බනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව කිපයක් විරෝධය දැක්වීමත් සමග එම ගිවිසුම අත්සන් තැබීමට නොහැකි විය.

IOC සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 85 යළි භාවිතයට ගැනීමට පෙර පූර්ණ අලුත්වැඩියාවක් කළ යුතු බව පවසන වෘත්තීය සමිති ටැංකි 16 ක් සුළු අලුත්වැඩියාවකින් අනතුරුව භාවිත කළ හැකි මට්ටමේ පවතින බව පෙන්වා දී තිබේ.

එවන් පසුබිමක ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් ඉන්දු – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වා ගැනීම පිණිස IOC සමාගම සමඟ නව ගිවිසුමකට අත්සන් තැබීමට ආණ්ඩුව සූදානම් වන බව වෘත්තිය සමිති සඳහන් කරයි.

වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ සභාපති බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ “මේක වෙන්නේ අවිධිමත් ගිවිසුමකට. ඒ අතර සමාජගත කරන සමහර වැරදි දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා. සමාජයට තෙල් ටැංකි ගැන නිවරැදි තොරතුරක් දෙන්න ඕනේ” යනුවෙනි.‍

ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රංවල මහතා, “බල්ලා පිදුරු කන්නෙත් නෑ; කන ගොනාට දෙන්නෙත් නෑ වගේ. ඒගොල්ලො ටැංකි 16ක ම වතුර පුරෝගෙන ඉන්නවා. ටැංකි කීපයක විතරක් තෙල් තියෙනවා. රජය ඩොලර් ගැනීමේ උවමනාව මත නම් රටක් සමග ගිවිසුම් ගහන්නේ කවදාවත් අපේ රටේ අවශ්‍යතා ඉටු වෙන්නේ නෑ”යි පැවසීය.

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා කියන්නේ “ඉන්දීය ලේකම්වරයා දැන් 87 සහ 91 කියන ටැංකි නිරීක්ෂණ කරන්න ගිහින් තියෙනවා. එයා එනකොට අපේ ඇමතිවරුත් එහෙ ගිහිල්ලා” යි යනුවෙනි.

මොවුන් මෙි බව පවසා සිටියේ දෙරණ නාලිකාවෙි Big Focus වැඩසටහන එක්වෙමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles