Friday, September 27, 2024

පාස්කු ප්‍රහාර නඩුවේ නවුෆර් මවුලවි ඇතුළු 10 කට නීතිඥවරු නැහැ

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඊබ්‍රහිම් මොහොමදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි ඇතුලු‍ විත්තිකරුවන් 24 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අද චෝදනා පත්‍ර භාර දුන්නා.  ඒ අදාල නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.  පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබුවා.

කොරෝනා ආසාදිතව සිටින නඩුවේ 15  වන විත්තිකරු වන මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් නමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ.  අධිකරණයට ඉදිරිපත් කර සිටි විත්තිකරුවන් 24 දෙනාට නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍ර එහිදී භාර දෙනු ලැබුවා. මෙම නඩුවේ  ප්‍රධාන විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු දස දෙනෙකු සඳහා නීතීඥවරුන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

එම විත්තිකරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තමන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයේ වියදමින් දෙමළ භාෂාව දන්නා නීතිඥවරයෙකු පත් කරන ලෙසයි.  ඒ අනුව, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා දෙමළ භාෂාව දන්නා නීතිඥවරුන්ගේ නාමලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට නියම කළා.  සිංහල භාෂාවෙන් ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රවල දෙමළ පරිවර්තනයක් ලබාදෙන ලෙස නඩුවේ ප්‍රධාන විත්තිකරු වන නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 17 දෙනෙකු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මොහොමඩ් අක්‍රම් අහක්කම් නමැති විත්තිකරු ඉල්ලා සිටියේ තමන්ට චෝදනා පත්‍රයේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ලබා දෙන ලෙසයි.  අදාළ පරිවර්තන ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිල්ලට නියම කළා.  අනතුරුව, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මෙම නඩුවට පාදක වන සිද්ධීන් හා කරුණු ඉතා සංවේදී ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළා.

ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරුදින කිතුනු දේවස්ථාන හා සංචාරක හෝටල් ඉලක්ක කරගනිමින් එක්තරා ආගමික අන්තවාදී කණ්ඩායමක් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 275 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 586 ක පිරිසක් තුවාල ලැබූ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පැවසුවා. එදින අලු‍ත් ඇදුම් ඇඳගෙන තම මව්පියන්ගේ අත්වල එල්ලී දේවස්ථාන කරා ගිය දරුවන් තමන් මේ යන්නේ අවසන් ගමන්  බව නොදැන සිටින්නට ඇතැයි ඇය සංවේදීව අධිකරණය හමුවේ සඳහන් කළා.

අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර වැඩිදුරටත් පැවසුවේ මෙම අවාසනාවන්ත ප්‍රහාරය නිසා මිනිස් ජීවිත පමණක් නොව සාමය, සංහිඳියාව සහ සහෝදරත්වය ද අපගෙන් ගිලිහී ගිය බවයි. ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ පාස්කු ඉරිදා මෙම ප්‍රහාරය එල්ල කිරීම සඳහා අන්තවාදීන් තෝරාගෙන ඇත්තේ තම මතවාදය ලොව පුරා ප්‍රචලිත කිරීමේ අරමුණෙන් බව සඳහන් කළ ඇය ඉතා සුළු පිරිසක් මෙවැනි අන්තවාදී කටයුතුවලට ඇබ්බැහි වී ඇති බව ද කියා සිටියා.

ඔවුන් විසින් ආගමික මතවාද විකෘති කරමින් සිදු කරනු ලබන ත්‍රස්තවාදී ක්‍රියා පිටුදැකිය යුතු බවයි අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර අවධාරණය කළේ.  මෙම නඩුවට පාදක වන චෝදනා පත්‍රය ලංකා ඉතිහාසයේ මෙතෙක් අසා නොතිබුණු ආකාරයේ චෝදනා පත්‍රයක් යැයි සඳහන් කළ අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය එහි චෝදනා 23,270 ක් අන්තර්ගත වන බව සඳහන් කළා.  මෙම සිද්ධියේ ඇතැම් විමර්ශන සඳහා ඇමරිකානු හා ඕස්ටේ්‍රලියානු පරීක්ෂණ ආයතනවල සහාය ලබාගත් බවද ඇය පැවසුවා.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත මෙහිදී සඳහන් කළේ මෙම නඩුවේ 23000කට අධික චෝදනා විවෘත අධිකරණයේ එක් එක් විත්තිකරුවෙකු වෙනුවෙන් කියවා දීමට ගිය හොත් අවම වශයෙන් මාස 6 කට වැඩි කාලයක් ගතවනු ඇති බවයි.  ඒ අනුව එක් එක් විත්තිකරුට අදාළ වන චෝදනා වෙන් වෙන්ව තෝරාගෙන ඒවා විවෘත අධිකරණයේ කියවීම තුලින් කාලය ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි යෝජනා කළ සභාපති විනිසුරුවරයා, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුන්නා.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විත්තිකරුවන් 24 දෙනාම නඩු විභාගය පවතින සෑම දිනකම අධිකරණයට ඉදිරිපත් කිරීමට වග බලා ගන්නා ලෙසත්, එසේ ඉදිරිපත් කිරීමට අපහසු නම් විද්‍යුත් තාක්ෂණ ක්‍රමවේදය ඔස්සේ හෝ ඔවුන්ගේ පෙනී සිටීම අධිකරණය හමුවේ තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළා.

නඩුව නොවැම්බර් මස 23 වන දා යළි කැඳවීමට නියමිතයි.

Kubiyo News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles