Tuesday, November 19, 2024

ගම්මන්පිල සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක්

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට ලබා දී තිබෙන බවට ඛණිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක් බවත් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී නොමැති අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ‍

එමෙන්ම වත්මන් ආණ්ඩුව අදාළ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බව ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත (දෙවනවර කියැවීම) පිළිබද විවාදයට එක්වෙමින් ඊයේ(06දා) පාර්ලිමේන්තුවේදී හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා,

මේ තෙල් කැනීම් පිළිබඳ ප්‍රශ්නයේදී අපිට ලැබිය යුතු පංගුව නිසි පරිදි ලැබෙනවා නම් කැනීම් කටයුතු කළාට ප්‍රශ්නයක් නෑ. ඒ වගේම මේ තෙල් කැනීම වගේම අපේ තෙල් ටැංකි ටික ආරක්ෂා කර ගන්න ඔ්නී. එදා බ්‍රිතාන්‍යන් සතුවුනු තෙල් ටැංකි ටික අපිට විශාල සම්පතක්. අවුරුදු 99 බදු යටතේ ඔවුන්ට දීලා තිබුනා. අපි ඒක 1963දී ගත්තා. ඒ සමගම තමයි 1961 අංක 28 දරණ ඛණිජ තෙල් සම්පත් පනත එන්නේ. ඒ පනත අනුව සම්පූර්ණයෙන්ම තෙල් ආනයනය, ගබඩා කිරීම, පිරිපහදුව, බෙදා හැරීම, අපනයනය තෙල් සංස්ථාව සතු වුණා. ඒ වගේම 1987 ජූලි ඉන්දියාවේ රජිව් ගාන්දි සමග අත්සන් කරපු ගිවිසුම අතමන් කළා. ඒ ගිවිසුම අත්සන් කළ වෙලාවේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන සඳහන් වුනා. එහි 2 සහ 3 වගන්ති වල පැහැදිලිව තිබෙනවා ඉන්දියාව සහ ලංකාව ඒකාබද්දව සංවර්ධනය කර පවත්වාගෙන යන්න එකඟ වෙනවා කියලා. ඒත් ඒක ගිවිසුමක් වුනාට ඒක නීත්‍යානුකූල එකක් නෙවෙයි. ඒ නිසා රජිව් ගාන්දි ලිපියක් එවනවා මේ වගන්තිය සඳහන් කරලා ජේ.ආර්ට ඒකාබද්ධව සංවර්ධනය කරන්න ඔ්නී කියලා. ජේ.ආර් පිළිතුරු ලිපියක් යවනවා. ඒත් ඒ ලිපි නීත්‍යානුකූල වෙන්නේ නෑ. ගම්මන්පිල ඇමතිවරයා ඊයේ පෙරේදා ප්‍රකාශයක් කරලා තිබුණා 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී අවසන් කියලා. පට්ටපත් බොරුවක්. ඒක එහෙම වෙලා නෑ. ඒක දේශද්‍රෝහී ප්‍රකාශයක්. මේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී නැහැ. මේ පිළිබදව 2003දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශේෂ විදිවිධාන පනතක් ගෙනල්ලා තාවකාලික කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ හිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් චරිත රත්වත්තේ. ඒ කමිටුවේ නිර්දේශ මත ඇමතිවරයාට බලය පැවරුනා මේ තෙල් ටැංකි යම්කිසි ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ පවරා දෙන්න. ඒකේ පැහැදිලිව වගන්තියක් තිබෙනවා මාස 06ක් ඇතුලත බදු දීමේ ගිවිසුමකට අත්සන් කළ යුතුයි. එහෙම අත්සන් කළොත් තමයි අයි.ඔ්.සී සමාගමට පැවරෙන්නේ කියලා. එහෙම බදු ගිවිදුමක් මෙතෙක් අත්සන් කරලා නැත. ඒ නිසා එහෙම පවරාදීමක් නෑ. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා කරුණාකරලා ඒ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ නිවැරදි කරන්න. මේ රටේ ජනතාවට බොරු කියන්න හදන්න එපා. ඔබතුන්ලාගේ ආණ්ඩුව යටතේ මේක ඉන්දියාවට දෙනවාද නැද්ද  කියලා කියන්න. යනුවෙන්ද සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles