Saturday, September 21, 2024

මහ බැංකු අධිපතිගේ කාලය දීර්ඝ නොකිරීමට තීන්දු කළා

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීම පිළිබඳ පක්ෂ මධ්‍යමකාරක සභාවේදී සාකච්ඡා කෙරුණු ප්‍රධාන මාතෘකාවක් බවත් ඔහුගේ සේවා කාලය දීර්ඝ නොකිරීමට පක්ෂය තීන්දු කළ බව ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය.

එම තීන්දුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ එකඟතාවට සිදුවූවක් නොවන බවද වෙනත් කිසිදු පාර්ශ්වය බලපෑමක් මෙම තීන්දුවක් පිටුපස නොතිබෙන බවද ඇමැතිවරයා පැවසීය.

ඇමැතිවරයා එසේ සඳහන් කළේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරයත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පුද්ගලයෙකු ඉලක්ක කර නොව ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධව බවත් එහෙයින් ඊට එරෙහිව ඡන්දය භාවිතා කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළා.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 51ක් පමණයි. ඊට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පහක්ද ඇතුළත්. විශ්වාසභංගයේදී ජාතිවාදී ස්වරූපයක් ගත්තා. ඒ නිසා රටේ සියලු ජන කොටස් ජනාධිපතිතුමා සමඟ එක්වුණා. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් කොමියුනිස් පක්ෂයේ පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවා ඡන්ද විමසීමට එක්වුණේ නැහැ. විශ්වාසභංගය තුළ ඒ අයගේ මත ගැටුම් තිබුණා. ඇතැම් ගැටුම් විවෘතවත් ඇතැම් ඒවා අභ්‍යන්තරවත් පැවතුණා. ඒ නිසා විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුවට විශාල වාසියක් ලබා දී තිබෙනවා. ඒක අපේ ජයග්‍රහණයක්. ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් ළඟදීම ආණ්ඩුවට එක්වීමට ද නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ පක්ෂ කිහිපයක් පසුගියදා එක්වුණා. ආරුගම් තොන්ඩමාන් මහතාගේ නායකත්වයෙන් යුතු කම්කරු කොංග්‍රසය, ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුතු ඊ.පී.ඩී.පී පක්ෂය, අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් කොංග්‍රසය, ආදී පක්ෂ ඉදිරියේදී සන්ධානය සමඟ කටයුතු කරනවා.

පවතින ප්‍රශ්න පිළිබඳ කතා කිරීමේ සංවාදයක් එක්සත් ජාතික පක්ෂය සමඟ සිදු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළා.

මහ බැංකු අධිපතිවරයාට නැවත වරක් පත්වීමක් නොදිය යුතු බවට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීන්දු කර තිබෙනවා. ඒ මහතාගේ නිල කාලය අවසන් වීම ඊට හේතුවයි. අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පුරප්පාඩුව සඳහා ඒ මහතා පත් කරනු ලැබුවා. ඒ මහතා කෙරේ අවිශ්වාසයක් ඇති වී තිබෙනවා. ඒ නිසා අර්ජුන මහතා නැවත පත් කිරීම රටටත්, අණ්ඩුවත්, පක්ෂයටත් සුදුසු නැහැ. සිගරැට් , බීඩි සහ මත්පැන් වලට දැනට බදු අය කෙරෙන්නේ නැහැ. සිගරැට්, බීඩි සහ මත්පැන් සඳහා අලුතින් වැට් බද්දක් එක් කිරීමටත් රෝග නිශ්චය කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණවලට අය කරන බදු අඩු කිරීමටත් පෙරේදා(15) පැවැති ආර්ථික කමිටුවේදී ඒකමතිකව තීන්දු කළා.

එසේම ශ්‍රී ලංකාවට විදේශීය ආදායම රැගෙන එන විදේශ ශ්‍රමිකයන්ගේ පහසුව සඳහා ගුවන් ටිකට් සඳහා අයකරන බද්ද අඩු කිරීමට එහිදී තීන්දු කළා.

එසේම දේශීය පොල් කර්මාන්තය නඟා සිටුවීම සඳහා ෆාම් ඔයිල් සඳහා අය කරන සෙස් බද්ද වෙනුවට නව වැට් බද්දක් එක් කිරීම කෙරේද අවධානය යොමු වුණා. ආර්ථිකය ගැන කතා කිරීමේදී ජනතාවට සහන සැලසීම රජයේ ආර්ථික වැඩපිළිවෙළයි. ඒ යටතේ දෙසැම්බර් මාසය වන විට ජනතාවට සහන සැලසීමට හැකි වෙනවා. අපේ ප්‍රධාන අරමුණ ආදායම සහ වියදම පරතරය අඩුකිරීමයි. එය 5.4 දක්වා අඩු කිරීම අපේ ඉලක්කයයි. බිලියන එකහමාරක මුදලක් ජාත්‍යන්ත මූල්‍ය අරමුදලින් අපිට හිමි වෙනවා. 2014 වසරේත් බිලියන 2.4ක් අපිට ලබා දුන්නා. විදේශ සංචිත මඟින් අපේ රුපියල අගය රැක ගැනීමට හැකි වෙනවා. ඒනිසා විදේශ සංචිත ඉහළ නංවා ගැනීම අපේ අරමුණයි.

පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීම සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට දක්වා මාර්ගය දීර්ඝ කිරීම , කෙරවල පිටියේ සිට පොල්ගහවෙල දක්වා නුවර අධිවේගී මාර්ග ඉදිකිරිමට සැලසුම් කර තිබෙනවා. පෝට් සිටි සහ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ නවීකරණය කෙරේ අවධානය යොමු වී තිබෙනවා. හම්බන්තොට වරාය නගරයේ චීන කර්මාන්ත 100ක් ආරම්භ කිරීමට නියමිතයි.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා- ලෝක වෙළඳ පොළේ ඛණිජ තෙල් මිල ඉහළ ගිය ද තෙල් මිලේ ඉහළ යෑමක් නැහැ. ජනතාවට සහන ලබා දෙනවා. ඛණජ තෙල් සංස්ථාව මම භර ගන්නා අවස්ථාව වන විට බිලයන 365ක ණයක් තිබුණා. අද වෙන විට එහි ලාභය බිලියන පහක ඉක්මවා ගොස් තිබෙනවා. ලිහිසි තෙල් නිෂ්පාදනාගාරයක් ලංකාවේ ස්ථාපිත කරනවා. පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.

DINAMINA

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles