කොරෝනාවෙන් විදුලි බලයත් හාන්සියි – හිඟ බිල්පත් ගෙවන්න වසරක සහන කාලයක්

0
301

රටපුරා විදුලි පාරිභෝගිකයන් විදුලිය පාවිච්චිය වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි හාර දහස් හාරසීයක පමණ මුදලක් පසුගිය කොවිඩ් සමයේදී ගෙවීම පැහැර හැර ඇතැයි විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවැසීය.

විදුලි බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මෙම පුද්ගලයන්ට එම හිඟ මුදල් කොටස් වශයෙන් ගෙවීම සඳහා වසරක සහන කාල සීමාවක් ලබාදී ඇතැයි පැවසූ ලොකුගේ මහතා හිඟ වාරික ගෙවන අතරේ මාසික විදුලි බිල්පත අඛණ්ඩව ගෙවිය යුතු බවද සඳහන් කළේය.

මෙයට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද අමැතිවරයා පැවසුවේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා විදුලි බිල සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

විශාල පිරිසකගේ ආදායම් කොවිඩ් සමයේදී අහිමිවී ඇති හෙයින් විදුලි බිල සම්බන්ධයෙන් ඒ අයට කිසියම් සහනයක් ලබා දෙන්නේ දැයි මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

කොළඹ විදුලි පාරිභෝගිකයන් රැසකගේ නිවෙස්වල විදුලිය හිඟ විදුලි බිල්පත් හේතුවෙන් දැනටමත් විසන්ධි කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here