Saturday, September 21, 2024

කොයිකා ආධාරයෙන් අධිකරණය අලුත් වෙයි..

කොයිකා ආධාර වැඩසටහන යටතේ අධිකරණ සේවා කටයුතු වැඩිදියුණු කිරීමට නව වැඩපිළවෙළක් සැලසුම් කිරීම සඳහා අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හා කොරියානු තානාපති  Won-sam Chang මහතා අතර සාකච්ඡාවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ අධිකරණ කටයුතු පුළුල් කිරීමට හා කාර්යක්ෂම කිරීමට කොයිකා ආධාර යටතේ 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදී විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි දකුණු කොරියානු රජය කැමැත්ත දක්වා තිබේ.

එහි මුලික කටයුතු පිළිබදව කොයිකා බලධාරීන් හා අධිකරණ අමාත්‍යාංශය අතර මේ දිනවල සාකච්ඡා මට්ටමින් එම ව්‍යාපෘතිය සැලසුම් කෙරෙන අතර‍ ඒ සඳහා අවශ්‍ය කටයුතුවලට කොරියානු රජයේ පුර්ණ සහයෝගය ලබා දෙන බව දකුණු කොරියානු තානාපති Won-sam Chang මහතා  අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමුවී සඳහන් කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියානු රජයේ සහයෝගය මත කොයිකා ආධාර වැඩසටහන යටතේ මේ වන විටත් අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නවීන විද්‍යාගාර හා තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක් ලබා දී ඇත.

එම ව්‍යාපෘතිය මගින් රස පරික්ෂණ කටයුතු සඳහා අත්‍යාවශ්‍ය වන DNA පරික්ෂණ කටයුතු දියුණු කිරීමට  කටයුතු යොදා තිබේ. 2018 වර්ෂයේ දී ඇරඹෙන නව කොයිකා ආධාර වැඩපිළවෙළ යටතේ අධිකරණ සේවාවේ අත්‍යාවශ්‍ය තාක්ෂණ පහසුකම් දියුණු කිරිමට හා පරිපාලන කටයුතු කාර්යක්ෂම කිරීමට අවශ්‍ය භෞතික හා මානව සම්පත් දියුණු කිරීමට ආධාර ලබාදිමට මෙම ව්‍යාපෘතිය මගින් ඉඩකඩ සැලසෙන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියානු තානාපති Won-sam Chang මහතා හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතර පැවති මෙම හමු ව සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles