Monday, September 23, 2024

රටට ජයග්‍රහණ රැසක් -පෝට්‌සිටි වෙනුවට නව මූල්‍ය නගරයක්‌

ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් ජී එස්‌ පී සහනය, වරාය මූල්‍ය නගරය සංවර්ධන, අධිවේගී මාර්ග ඇතුළු සියලුම සංවර්ධන ව්‍යාපෘති මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක්‌ කරමින් ඊයේ (17 වැනිදා) පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට යුරෝපා කවුන්සිලය ගෙන ඇති තීරණය ඇතුළු නව ආර්ථික ගිවිසුම් පිළිබඳ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (17 වැනිදා) පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවේදීය.

2014 වසරේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මෙරට ධීවරයන් මසුන් ඇල්ලීම ඇතුළු කාරණා මුල්කරගෙන මෙරටින් මසුන් මිලදී ගැනීම යුරෝපා සංගමය විසින් තහනමට ලක්‌ කළ අතර වත්මන් පාලනය යටතේ ගත් ක්‍රියාමාර්ග නිසා යුරෝපා සංගමය පෙරේදා (16 වැනිදා) සිට එම තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

ජනතාවට පොරොන්දු වූ පරිදිම ජී. එස්‌. පී. සහනය මෙම වසර අවසානයේදී ලබාගන්නා බවත් ඒ අනුව තේ අපනයනයට, ඇඟලුම් කර්මාන්තයට විශාල වාසියක්‌ අත්වන බවත් කියා සිටියේය.

ජී. එස්‌. පී. ප්ලස්‌ ලබාගැනීම හරහා තීරු බදු සහන ලැබෙනවා. අමතරව යුරෝපා වෙළෙඳ පොළට ඇතුළුවීමට හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙම වසර අවසානයට පෙරාතුව ඉන්දියාව සමඟ වෙළෙඳ හා කාර්මික ගිවිසුමට අත්සන් තබන බව ද චීනය සමඟ නිදහස්‌ වෙළෙඳ ගිවිසුම අත්සන් කර දෙරට අතර තානාපති සබඳතා ඇති කරන බව ද කියා සිටියේය.

විශේෂයෙන්ම චයිනා හාබර් සමාගම සමඟ නව ගිවිසුමකට පැමිණ යෝජිත කොළඹ වරාය නගරය (පෝට්‌ සිටි) වෙනුවට සිංගප්පූරුව, ඩුබායි අතර පිහිටි මූල්‍ය නගරයක්‌ ඉදිකරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙහි සින්නක්‌කර අයිතිය චීනයට පවරනු වෙනුවට දීර්ඝකාලීන බදු ක්‍රමයට අනුව ව්‍යාපෘතිය දියත් කරන බව ද කියා සිටියේය.

හම්බන්තොට ඩොක්‌යාඩ් ව්‍යාපෘතිය අගෝස්‌තු මාසයේදී ආරම්භ කරන අතර මීගමුවේ සිට හම්බන්තොට දක්‌වා වෙරළ තීරය සංවර්ධන ව්‍යාපෘති යටතේ සංවර්ධනය කරන බව ද පැවසීය. විශේෂයෙන්ම ජපාන ආධාර මත කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුව සිට පෑලියගොඩ දක්‌වාත්, රාජගිරිය දක්‌වාත් ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ග (Eකැඩ්එed යසටයආහ) ඉදිකරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

වැලිකඩ බන්ධනාගාරය කළුතර ප්‍රදේශයේ ස්‌ථාපිත කොට දැනට වැලිකඩ ප්‍රදේශයේ අක්‌කර හතළිහක්‌, පනහක්‌ වන ප්‍රදේශයේ වෙළෙඳ නගරයක්‌ ඉදි කරන බව ද පැවසීය.

යල් පැනගිය ආර්ථික ක්‍රම මගින් රටක්‌ දියුණු කළ නොහැකි බවත් පරණ ටියුන් එක ගසා වැඩක්‌ නොමැති නිසා අලුත් සංකල්ප මත රට ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

පුවත්පත් හා මාධ්‍ය මගින් තාමත් පරණ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පරණ ටියුන් එක ගසන බවත් දැන්වත් තරුණයන්ටත් අලුත් අදහස්‌ දක්‌වන්නට කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා කීවේය. අද අපි ආර්ථිකමය, සමාජයීය මෙන්ම සංවර්ධනය අතින් පහළින් සිටිය ද ශ්‍රී ලාංකික ජනතාව අතර මධ්‍යම පාංතික පිරිස වැඩි කරමින් අතමිට සරු ජනතාවක්‌ සැකසීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් තමාගේත් අරමුණ හා වැඩපිළිවෙළ බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles