Sunday, September 22, 2024

අප ඉන්නේ ගැඹුරු ස්වයං විවේචනයක,ජනතා අපේක්ෂා එක්ක සෙල්ලම් කරන්න බෑ බිඳී ගිය ජනතා විශ්වාසය යළි ගොඩ නැගිය හැකි ආකාරය ගැන විමල් පහදයි

ගෙවී ගිය වසර දෙක තුළ ආණ්ඩුවෙන් සිදුවූ අඩුපාඩු, වැරදි හා නොවිය යුතුව තිබූ දේවල් නිවැරදිව තේරුම් ගනිමින්, නිවැරදි තක්සේරුවක සිට කටයුතු කළහොත් ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය බලවත්ව දිනාගැනීම ආණ්ඩුවට ඉටුකරගත නොහැකි දෙයක් නොවන බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඒ අනුව එහිදී මහජන අපේක්ෂාවන්ට මුල්තැන දිය යුතු බවත් අවංක විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා. එසේ නොවන්නේ නම් අතීතය අධ්‍යයනය කිරීමෙන් ඵලක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ මහතා මේ අදහස් පළ කළේ මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ පැවති කුඩා පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන් පිරිසක් සවිමත් කිරීම සඳහා මහන මැෂින් ලබාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

අවිධිමත් ආකාරයට, සුදුස්සන් නිසි ලෙස තෝරා නොගෙන බෙදාදෙමින් තිබූ මෙම මහන මැෂින් එසේ නාස්ති වීම නතර කරලා අපට පුළුවන් වුණා ඇත්තටම ඇගලුම් කර්මාන්තයේ යෙදෙන, ඒ සඳහා අපේ සහයෝගය ලැබිය යුතුව තිබෙන පිරිසට ඒවා ලබාදීමට. ඒ අනුව අද දිනයේ ඔබට සවියක් වෙමින් අපි මහන මැෂින් 120 ක ප්‍රමාණයක් ලබා දෙනවා. අපේ රටේ කාන්තාව අද ආර්ථික ක්‍රියාදාමයේ ප්‍රබල කොටස්කාරියක්ව සිටිනවා. එවැනි පිරිසකට තම කර්මාන්තය ප්‍රබලව කරගෙන යාමට මෙසේ සහයෝගය ලබාදීම තුළින් අපි විශ්වාස කරනවා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවෙන අතර හොඳ තත්වයේ නිමි ඇඳුම් භාවිතා කිරීමේ අවස්ථාව අපේ රටේ පොදු ජනතාවට ලැබෙන බව.

ලෝක ආර්ථිකයේ බිඳවැටීම

අපේ ආණ්ඩුව බලයට පත්ව වසර දෙකකට ආසන්නයි. 2019 ජනාධිපතිවරණයෙන් මාස දෙකකට පමණ පසුවයි කොවිඩ් වසංගතය ලොව පුරා පැතිර ගියේ. එම වසංගතය විසින් ලොව පුරා සියලු දේවල ක්‍රියාකාරිත්වය අඩපණ කරනු ලැබුවා. එමඟින් අප වැනි රටවල පමණක් නොවෙයි ලෝකයේ ඉතා ප්‍රබල ආර්ථිකයන් තිබූ රටවලද ආර්ථිකයන් බිඳවැටුණා. නැව් ගාස්තු ඉහළ ගියා. නිෂ්පාදන අඩාල වුණා. අපි දන්නවා නිෂ්පාදනය අඩාල වුණාම සිදුවන දේ තමයි ඊට සමගාමීව නිෂ්පාදනවල මිල ඉහළ යාම.

අපේ රට ගත්තත් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. එම බිඳවැටීම ඇරඹුණේ සහරාන්ලාගේ ත්‍රස්ත ප්‍රහාරයේ සිටයි. ඒ නිසා අපේක්ෂිත ආර්ථික වර්ධනය ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටටත් අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. දැන් නව සාමාන්‍ය තත්ත්වය යටතේ අප රට විවෘත කර ගෙන සිටියත් කුමන මොහොතේ හෝ මෙම වසංගත අභියෝගය යළි අප ගිල ගනීවිද, යන සැකය අපි කාටත් තුරන් කිරීමට බැහැ.

ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක

කෙසේ වුවත් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛ අපේ රජය මේ දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදු කරමින් සිටින මොහොතකයි මේ තමුන්නාන්සේලා අමතන්නේ. අපෙන් සිදු වූ වැරදි අඩුපාඩු හා නොවිය යුතුව තිබූ දේවල් මොනවාද, කියන එක හරියට තේරුම් අරන්, තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර තුන තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ඉටුකරගත නොහැකි කරුණක් නොවෙයි. එතැනදී අපි අවංක විය යුතුයි. ජනතාව සිතන ආකාරය තේරුම් ගත යුතුයි. එහිදී අපි මහජනයාගේ අපේක්ෂාවන්ට මුල්තැන දී වැඩ කළ යුතුයි. එසේ නොවුණහොත් අපි කොයිතරම් අතීතය දෙස හැරී බලා නිවැරදි කියවීමක් සිදු කර ගත්තත් භාවිතයේදී අපට ජය ගැනීමට පුළුවන් වෙන්නේ නැහැ.

පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නැහැ

පාස්කු ප්‍රහාරයත් සමග ඇති වූ අනාරක්ෂිත බව, තර්ජනය නිසා තමයි පොදු ජනතාවට වුවමනා වුණේ ශක්තිමත් පාලනයක් පිහිටුවීමට. විවිධ ආගම්වාදී, ජාතිවාදී කල්ලි මත යැපෙන්නේ නැති, ඒ අය ගහන පදයට නටන්න වන්නේ නැති, ජාතික ආරක්ෂාව සහ වෙනත් ඕනෑම ජාතික අභිලාෂයක් වෙනුවෙන් ගතයුතු තීරණ නොගෙන කර අරින්නේ නැති, පාලන්තන්ත්‍රයක් තමයි මේ රටේ පොදු ජනතාව එදා අපේක්ෂා කළේ. ඒ මගින් මේ රට ආරක්ෂා කරගන්න පමණක් නොවෙයි, යහපත්, ආදර්ශවත් දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ නිර්මාණය කර ගැනීමත් ඔවුන් බලාපොරොත්තු වුණා. පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නැහැ .මහජනයා අප කෙරෙහි තබා තිබෙන විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නැහැ. ඒ විශ්වාසය අඩු වන විදියට නොවෙයි වැඩි වන අන්දමට වැඩකිරීමේ අභියෝගය තමයි අපි සියලුදෙනා ඉදිරිපිට තිබෙන්නේ.

බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වීමට තිබෙන වසර තුනක්.

වසංගතයක් සමඟ ජීවත් වීමට සිදුවීම නිසා අපි අතින් ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබූ යම් යම් දේවල්. මග හැරී තිබෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමුකර කළ යුතුව තිබූ දේවල් නොවී තිබෙනවා. මේ තත්ත්වය වෙනස් කර ගැනීමට අපට තවමත් කල් තිබෙනවා. ඉදිරියට තිබෙන වසර තුන, ජනතාව අපෙන් බලාපොරොත්තු වූ වෙනස ප්‍රායෝගිකව සිදු කරලා පෙන්වීමට තිබෙන වසර තුනක්. ‘කොවිඩ් එන්නත දියුණු රටවල ගහලා ඉවර වුණාට පසුව තමයි ලංකාවට එම එන්නත ලැබෙන්නේ’ කියලයි ඇතැමුන් කීවේ. නමුත් එන්නත්කරණය අතින් ලෝකයේ ඉහළින්ම සිටින රටවල් 10 අතර අද ශ්‍රී ලංකාව සිටිනවා. අපි රට යළි සංචාරක ව්‍යාපාරයට විවෘත කරන විට ලෝකයේ සංචාරක ව්‍යාපාරයට සුදුසුම රටවල් 05න් එකක් තමයි ශ්‍රී ලංකාව. ඒ නිසා අපි අමාරුකම්, අඩුපාඩු මැද්දේ සමහර අංශවලින් අභියෝගය ජයගෙන තිබෙනවා. ඒ වගේම සමහර අංශවල ප්‍රගතිය ගැන අපට සතුටු වීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා මහජන වරමින් තේරී පත්වූ පාලනතන්ත්‍රයක් ලෙස අප සියලුදෙනාටම වගකීමක් සහ යුතුකමක් තිබෙනවා, පවතින අඩුපාඩු නිවැරදි කරගෙන මේ රට ජයග්‍රාහීව ඉදිරියට ගෙන යන්න.

ඔබ දන්නවා මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ගෙවී ගිය වසර දෙක තුළ ඔබ සමග කටයුතු කළේ ඉහත කී පොදු පරමාර්ථ ජයග්‍රහණය කරවීමටයි. එලෙසම මේ රටේ ඇත්ත කර්මාන්තකරුවා බලගැන්වීමට සහ ඔහු මුහුණ දී සිටින ගැටලුවලට පිළියම් යෙදීමටයි. ඒ වෙනුවෙන් අපි අපේ ක්‍රියාකාරීත්වය පෙරටත් වඩා බලගන්වා ඉදිරියට ගෙන යන බව සහතික කරමින් අද මේ මහන මැෂින් ලබාගන්නා ඔබ සියලුදෙනාට එමගින් අපේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට යෝධ දායකත්වයක් ලබා දීමට හැකි වේවායි පතනවා.

මෙම අවස්ථාවට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා නිලධාරීහුද එක්ව සිටියහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles