අපරාධයක් කළා නම් අනිවාර්යෙන් දඩුවම් ලැබෙන්න ඕනෑ

0
305

හමුදාපති කෙනෙක් නෙවෙයි කවුරු වුණත් අපරාධයක් කළා නම් අනිවාර්යෙන් ඒ වගේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ යැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

ඔහු මෙසේ පැවැසූයේ බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට ඊයේ(13) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සරත් ෆොන්සේකා මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී.අලවතුවල, අශොක් අබේසිංහ, දිලිප් වෙදආරච්චි සහ සුජිත් සංජීව පෙරේරා යන මහත්වරුද එක්වූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවැසීය.

“කරන්නාගොඩගේ පැමිණිලි ගැන මම පාර්ලිමේන්තුවේ දීර්ඝ වශයෙන් කතා කළා. අහිංසක දරුවො එකොළොස්දෙනෙක් පැහැරගෙන ගිහිල්ලා කප්පම් ඉල්ලලා කප්පම් නොලැබුණාම ඝාතනය කළා. හමුදාපති කෙනෙක් නෙවෙයි කවුරු වුණත් එවැනි හෙන ගහන අපරාධයක් කලා නම් අනිවාර්යෙන් ඒ වගේ අයට දඩුවම් ලැබෙන්න ඕනෑ. එයා එක්ක සමාන්තරව හිටපු යුද හමුදාපති මම. එතකොට එයා නාවික හමුදාපති. මෙවැනි අපරාධයක් මම දකින්නේ එය තිරිසන් වැඩක් වගේ. අපිත් යුද්ධ කාලේ හමුදාවන්ට අණ දුන්නට ඔය වගේ තිරිසන් වැඩ අපි අනුමත කළේ නැහැ. මෙයා ඒකෙ චූදිතයෙක්. මෙයාට දඩුවම් කළ යුතුයි කියන මතයේ මම තදින්ම ඉන්නවා. නීත්‍යානුකූලව යම් යම් පියවර ගනිමින් පවතින බව අපිට පේනවා. මෙයාට නිදහසක් ලැබෙනවා නම් නඩුව ඉවත් කරනවා නම් මම පෞද්ගලිකව එය අනුමත කරන්නේ නැහැ.

රන්ජන් රාමනායකට සමාවක් ලබා දෙන්නැයි අපේ විපක්ෂනායකතුමා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ඉල්ලීම කිහිපවතාවක්ම අපි ජනාධිපතිතුමාට කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දේශපාලනයෙන් තොරව ගෞරවණීය ආකාරයට ඒ වරප්‍රසාදය රන්ජන් රාමනායකට ලබාදෙයි කියලා.

නීතිය ගැන ප්‍රශ්න ගොඩක් තිබෙනවා. අපේ යහපාලන ආණ්ඩුව ආවේ නීතිය ගේන්න කියලා. නමුත් අපේ හිටපු නායකයොන්ගේ දුර්වලකම නිසා ඒක සාර්ථකව කරන්න බැරි වුණා. ඒ නිසා ජනතාව කලකිරීමට පත්වුණා.  වර්ථමාන රජයෙත් ඒ විදියටම තමයි වැඩ කටයුතු කෙරෙන්නේ” යැයිද කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here