Saturday, November 16, 2024

දරුවන්ට උගන්වමින් ඉල්ලීම් දිනා ගන්න

දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට සියල්ල පසෙක ලා කටයුතු කරන මෙන් මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඊයේ (13) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කළහ.

වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන් මේ මොහොතේ කළ යුතුව ඇත්තේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන අතරතුර වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට කටයුතු කිරීම බවද මහා සංඝරත්නය අවධාරණය කළහ. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ වූවද වැටුප් විසමතාවන් නිරාකරණයට සාධනීය විසඳුම් සැපයීමට අගමැතිවරයා ප්‍රධානව ආණ්ඩුව කටයුතු කර තිබියදීත් මෙසේ අඛණ්ඩව වර්ජනයේ නිරත වීම රටේ අනාගතයට කරන අවැඩක් බවද මහා සංඝරත්නය අවධාරණය කළහ.

මෙහිදී අදහස් දැක්වූ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පැවසූවේ සියල්ල පසෙකලා දරුවන්ට ඉගැන්වීම් ආරම්භ කරන ලෙස කරුණාවෙන් සියලු ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බවත් රට සහ රටේ අනාගතයට කරන හොඳම ආයෝජනය දරුවන් අධ්‍යාපනයෙන් සන්නද්ධ කිරීම බවයි.

දීර්ඝ කාලයක් පාසල් වසා තැබීම සහ මාර්ගගත අධ්‍යාපනයෙන්ද ඉවත්ව සිටීම මත ගුරුවරයාගේ ග්‍රහණයෙන් මිදීම තුළින් දරුවන් මානසික අර්බුදයකට ලක්ව සිටින බැවින් තවදුරටත් එසේ වීමට ඉඩ නොතබන මෙන් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමියන් වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියහ.

කොවිඩ් අර්බුදය මත බිඳවැටුණු අධ්‍යාපනය නඟා සිටුවීමට සැලසුම් හදනවා වෙනුවට සමස්ත අධ්‍යාපන පද්ධතියම බිඳ වැටෙන අයුරින් කටයුතු කිරීම මේ මොහොතේ කිසිසේත්ම උචිත නොවන බවත් නාහිමියෝ පැවසූහ. ආණ්ඩුව සාධනීය විසඳුමක් දී ඇති පසුබිමක ඊට අනුකූල වී දැඩි ක්‍රියාමාර්ග ලිහිල් කිරීමට පියවර ගෙන දරුවන් වෙනුවෙන් නැවත පාසලට පැමිණෙන මෙන් ඕමල්පේ සෝභිත හිමියන්ද ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියහ. නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ අගමැතිවරයා විසඳුම් දුන් සාකච්ඡාවේදී නිහඬව සිටි වෘත්තීය සමිති පිටතට පැමිණ පසුවදා මෙලෙස වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම කිසිසේත්ම සාදාචාරත්මක නොවන බවයි.අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන ඇතැම් සංගම් අනුව නොයා දරුවන් වෙනුවෙන් පෙළගැසෙන ලෙස සමස්ත ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles