වැටුප් වැඩි කිරීම් යෝජනාවන්ට එකඟතාව පළ කර, සේවයට වාර්තා කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් කිහිපයක් තීරණය කර තිබෙනවා.
ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය සහ රත්නපුර දිස්ත්‍රික් ගුරු – විදුහල්පති සංගම් එකමුතුව ඊයේ (13) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී මේ තීරණය ප්‍රකාශ කළා.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවේ අගමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී යෝජනා කිසිවකට විරෝධයක් නොදැක්වූ වෘත්තීය සංගම් නියෝජිතයන් සාකච්ඡාවෙන් පසුව මෙවැනි තීරණයක් ගැනීම දරුවන්ගේ අනාගතය අඳුරට යවමින් පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට දරන උත්සාහයක් බවයි.
එවැනි කූඨ උත්සාහයන් පරාජය කරමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එක්වන්නැයි සියලු ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවද හඳපාන්ගොඩ මහත්මිය පවසනවා.
මේ අතර ඇතැම් වෘත්තීය සංගම් ආණ්ඩුව ඉදිරිපත් කළ යෝජනාවන් පිළිනොගනිමින් කටයුතු කළද සිය වෘත්තීය සංගමය ආණ්ඩුවේ යෝජනාවන්ට එකඟතාව පළ කර ලබන 21 දා සිට ඉගැන්වීම් ආරම්භ කිරීමට සූදානම් බව රත්නපුර දිස්ත්‍රික් ගුරු – විදුහල්පති සංගම් එකමුතුවද ඊයේ (13) ප්‍රකාශ කළා.
එම සංගමයේ කැඳවුම්කරු අයි. ඒ. ආර්. ඉලේපෙරුම මහතා සියලු ගුරු – විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ වැටුප් ගැටලුවට විසඳුම් දීම මධ්‍යස්ථ ස්ථානයකට පැමිණ ඇති බැවින් ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කරමින් රටේ සමස්ත ගුරු – විදුහල්පතිවරුන්ට යළිත් සේවය ආරම්භ කිරීමට එක්වන ලෙසයි.
ගුරු – විදුහල්පති වැටුප් විසමතා ගැටලුව විසඳීම අදියර දෙකක් ඔස්සේ ඉටු කිරීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සාධනීය එකඟතාවක් පළ කර තිබෙන පසුබිමක වැටුප් වැඩිවීම් සියල්ල එකවර දෙන තෙක් සිය වැඩ වර්ජනය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සංගම් ඊයේ (13) තීරණය කරනු ලැබුවා.
ඉකුත් ජූලි මස සිට ගුරු -විදුහල්පති සංගම් කිහිපයක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වීම හේතුවෙන් දරුවන් පත්ව සිටින දැඩි අපහසුතාව සලකා අධ්‍යාපන බලධාරීන් සහ වෘත්තීය සංගම් අතර සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වුණා.