Wednesday, September 25, 2024

අලුත් පොහොරක් හොයාගෙන – ඒකෙ නම ‘වාසු පොහොර…’!

පොහොර ගැටලුව සඳහා සාර්ථක විසඳුමක් ලෙස වඩාත් ප්‍රතිඵලදායී කාබනික පොහොරක් හඳුන්වාදීමට ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මැදිහත් වීමෙන් රත්නපුර මිනිපුර රන්කරල් ගොවිජන පෙරමුණ සමර්ථ වී තිබෙන බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ “අතිගරු ජනාධිපතිතුමාගේ තිරසාර කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ කාබනික පොහොර භාවිතයට ජනතාව හුරුකරවීම සඳහා දීප ව්‍යාප්තව සිදුකරගෙන යනු ලබන ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වෙමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම ප්‍රතිඵලදායී කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් මෙය ආරම්භ කර ඇත.කෘෂි විශේෂඥයෙකු වන බුද්ධි උපශාන්ත මහතා විසින් දිගු කාලයක් මුළුල්ලේ කරගෙන යනු ලැබු පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙම කාබනික පොහොර වර්ගය හඳුන්වා දී ඇති අතර මේවා දියර සහ කැට වශයෙන් නිෂ්පාදනය කර ඇත” යනුවෙනි.

නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් අංශු මාත්‍ර සහ ක්ෂ්ද්‍ර පෝෂක අන්තර්ගත මෙම පොහොර මිශ්‍රණය ශාක ජීව ක්‍රියා උත්තේජනය කරන ඇමයිනෝ අම්ල සහ ශාක හෝමොන අන්තර්ගත නිෂ්පාදනයක් වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂි විශේෂඥ බුද්ධි උපශාන්ත මහතා පවසයි.

මෙම දියර පොහොර මිලිලීටර් 150 ක් වතුර ලීටර් 16 යේ ටැංකියක දියකර තේ වගාවට යෙදවීමෙන් උපරිම ප්‍රතිඵල ලබාගත හැකි බව ඔහු කියයි.

මෙම පොහොර යොදන වාර ගණන අනුව ඉහල අස්වැන්නක් ලබාගත හැකි බව ඔහුගේ අදහසයි.

වාසුදේව නානායක්කාර මහතා මෙම කාබනික පොහොර නිෂ්පාදනයේ සාර්ථක ඵලදායී ප්‍රතිඵල මේ වන විටත් තහවුරු වී ඇති නිසා මෙය වඩාත් ප්‍රචලිත කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තමන් මැදිහත්වී ක්‍රියාකරන බව පවසා තිබිණ.

මෙම කාබනික පොහොර වී වගාව, තේ වගාව, බඩ ඉරිඟු සහ එළවලු වගාවන් සඳහා ද වඩාත් යෝග්‍ය බව පෙන්වා දුන් අමාත්‍යතුමා “අතිගරු ජනාධිපතිතුමන් වෙත සහ අමාත්‍ය මණ්ඩලයට මේ සම්බන්ධයෙන් තොරතුරු විස්තර සැපයීමට මම කටයුතු කරනවා. කෘෂිකර්ම අමාත්‍යතුමා මඟින් මෙය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමේ පුළුල් වැඩපිළිවෙලත් සිදුකිරීමට අපි අපේක්ෂා කරනවා” යි පවසා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles