Sunday, September 22, 2024

පොලිස් නිලධාරීන්ට දෙන චෝදනා පත‍්‍රමාස 7කදී විභාග නොකළොත් අවලංගු කරන්න

පොලිස් නිලධාරියකුට ලබා දෙන චෝදනා පත‍්‍රයක් මාස හයක් තුළ අධිකරණය මගින් විභාග නොකළහොත් ඒවා අවලංගු කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන සකස් කරන බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා පවසයි.

වසර දහයකට වැඩි කාලයක් විභාග නොකළ චෝදනා පත‍්‍ර පොලිස් නිලධාරීන්ට ඇති බවත් ඉන් රාජකාරියට බාධා එල්ල වන බවත් කී ඇමැතිවරයා වහාම මේ පිළිබඳව අවධානය යොමු කර විසඳුම් ලබා දෙන බව ද කීය.

පොදු ජනතාව අතර රාජකාරි කිරීමේදී ඇතැමුන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට ලබා දෙන චෝදනා පත‍්‍ර විභාග කිරීම ප‍්‍රමාද වීමෙන් ඇති වන අර්බුද අවම කොට සහන සැලසීමට ආරක්ෂක ලේකම්වරයාගේත් පොලිස්පතිවරයාගේත් මැදිහත් වීමෙන් විසඳුම් ගෙන ඒමට පියවර ගෙන ඇති බව ද හෙතම කීවේය.

රාජකාරි අවස්ථාවක දී පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩුවකට මුහුණ දීමට සිදුවුවහොත් අදාළ නඩුව විභාග කිරීමට පෙනී සිටීම සඳහා වියදම් කිරීමට සිදුවන්නේ ද ඒ නිලධාරියාට ම බව ද හෙතෙම කියා සිටියේය.

පොලිස් රථවාහන අංශ නිලධාරීන් 230දෙනකුට වඩා පිරිසක් රාජකාරී අතරතුර මහ මගදී රියැදුරන්ගේ නොසැලකිල්ල නිසා අනතුරුවලට ලක්ව මියගොස් තිබෙන බවත් පාතාල ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවලදී ද පොලිස් නිලධාරීන් මරණයට පත්වූ අවස්ථා තිබෙන බවත් පොලිස් නිලධාරීන් තමන්ගේ රාජකාරිය වෙනුවෙන් අවදානමක් දරාගෙන කරන කැපවීම සම්බන්ධව මහජනතාවට ද යම් අවබෝධයක් තිබිය යුතු බවත් ඒ මහතා කීය. ‘‘පොලිස් නිලධාරීන් හරි දේ කරන්න, ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා’’ යැයි ද වීරසේකර මහතා කියා සිටියේය.

මහනුවර ප‍්‍රජා පොලිස් ඒකක පිහිටුවීම නිමිත්තෙන් ඊයේ (15 දා) පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ‍්‍රවණාගාරයේදී පැවති වැඩසටහනේදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles