Friday, September 20, 2024

නොවැම්බර් 12 දා සිට දෙසැම්බර් 10 දක්වා ඇමතින්ට ලේකම්වරුන්ට ලොක්කන්ට රට යන්න තහංචි

මෙවර අය-වැය ඉදිරිපත් කෙරෙන නොවැම්බර් 12 වන දා සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වන දා අතර කාලය තුළ නිල හෝ පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස සියලු ම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දීමට රජය කටයුතු කර තිබේ.

2021 ඔක්තෝබර් 13 වන දා දාතමින් යුත් විශේෂ චක්‍රලේඛයක් මගින් සියලු ම අමාත්‍යංශ ලේකම්වරුන් හා රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම දැනුම්දීම සිදුකර තිබේ.

2022 අය-වැය ලේඛනය මේ වනවිට සකස් වෙමින් පවතින බැවින් මුදල් අමාත්‍යංශය අදාළ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විදේශ තානාපති සේවාවන් හා ජාත්‍යන්තර සංවර්ධන අරමුදල් ආයතන සමඟ තාක්ෂණික මට්ටමේ ඇගැයීම්වල යෙදෙන බැවින් ඒ සඳහා ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ සියලු නිලධාරීන්ගේ සෘජු දායකත්වය මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇතැයිද එහි සඳහන්ව ඇත.

එබැවින් එතෙරදී සිදුකෙරෙන විශේෂ අවස්ථාවන් ආවරණයට විදේශ අමාත්‍යංශය මගින් විදේශ රටවල පිහිටි මෙරට තානාපති කාර්යාල ඔස්සේ අදාළ නියෝජනය ලබාදිය හැකි බවද ජනාධිපති ලේකම්වරයා එමගින් අවධාරණය කර තිබේ.

එබැවින් අත්‍යවශ්‍ යම කටයුත්තකට හැර එම කාලය තුළ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇත.

නොවැම්බර් 12 වන දා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එහි දෙවන වර ඡන්ද විමසීම නොවැම්බර් 22 වන දා පස්වරු 4.00ට සිදුකිරීමට නියමිතව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම නොවැම්බර් 23 වන දා පටන් දෙසැම්බර් 10 වන දා අතරතුර කාලය තුළ පැවැත්වෙන කාරක සභා විවාදය අතරතුර සෑම දිනක ම අමාත්‍යංශවලට අදාළ ඡන්ද විමසීමක් බැගින් පැවැත්වෙන බවද එම ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කළේය.

ඒ අනුව නොවැම්බර් 28  සහ දෙසැම්බර් 05 වන දාට යෙදෙන ඉරිදා දින දෙක හැරුණුවිට අන් සෑම දිනක ම අය-වැය කාරක සභා විවාදය පැවැත්වෙන නිසා ඇමතිවරුන් සහ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු අදාළ නිලධාරීන්ගේ සෘජු දායකත්වය එම කාලය තුළ ලැබිය යුතුව ඇතැයි ද රජයේ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

වාර්තාව – මවිබිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles