පාස්කු බෝම්බයේ දේශපාලකයන් කියන්න – ජනපතිට කාදිනල් හිමිගෙන් චෝදනා ගොන්නක්

0
304

පාස්කු ඉරුදින එල්ල වූ අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින්නේ අන්තවාදී මුස්ලිම්වරු හත් අට දෙනෙක් පමණක් නොවන බවත්, දේශපාලන අරමුණු තකා කවුද ඒ පුද්ගලයින්ව පාවිච්චි කළේ කවුද යන්න දැනගැනීමට අවශ්‍ය බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ කොමිසමේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවේදී පොරොන්දු දුන්නත්, එම කොමිසම් වාර්තාව නිකුත් කර දින දෙකකින් තමාට කතා කර කොමිසමේ තියෙන හැම නිර්දේශයක්ම ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත්, සමහර නිර්දේශ ක්‍රියාත්මක කළොත් ඔහු අප්‍රසාදයට ලක්විය හැකි බවත් කීවේ යැයි ද අගරදගුරුතුමෝ ප්‍රකාශ කළහ.

‘පාස්කු ප්‍රහාරය පිටුපස සිටියේ කවුද?, ඇත්තටම වුණේ කුමක්ද?, කවුද ඒක කළේ? යන්න දැනගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අවශ්‍ය බව ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

මෙම ප්‍රහාරය පිටුපස අන්තවාදී මුස්ලිම්වරුන් කිහිපදෙනකුට වඩා ලොකු දෙයක් සිදුවූ බවත්, ඒ කුමක්ද යන්න දැනගන්නා තුරු සෑහීමකට පත්විය නොහැකි බවත් කී කාදිනල්තුමෝ එය හෙළි නොවුණහොත් ජනතාව රැවටීමකට ලක්වීමක් සිදුවන බව ද කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරගුරුතුමෝ මේ බව පැවසුවේ සිටියේ ”ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුක්ති සංසදය” මඟින් සූම් තාක්‍ෂණය ඔස්සේ සංවිධානය කළ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් එරට සිටින ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනකට එක්වෙමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here