නොරොච්චෝලෙත් වැඩ නවතින ලකුණු – ණයට ගල් අඟුරු දෙන්න නෑ

0
301

ඩොලර් අර්බුදය මේ වනවිට ඉන්ධන ආනයනය සඳහාද බලපෑම් කර ඇති අතර ඉදිරියේදී විදුලි නිෂ්පාදනය සඳහාද බලපෑම් කරනු ඇති බවට ඉඟි පළවෙමින් තිබෙනවා.

නො‍රොච්චෝලේ ලක්විජය බලාගාරය වෙනුවෙන් ගල් අඟුරු මිලදී ගන්නා ලංකා ගල් අඟුරු සමාගම අවසන් වරට ඉදිරිපත් කළ ටෙන්ඩර් දෙක සඳහා කිසිදු සැපයුම්කරුවෙකු ඉදිරිපත් වී නොමැත.

සැපයුම්කරුවන් පවසා තිබෙන්නේ ණයවර ලිපි සඳහා තවදුරටත් ගල් අඟුරු සැපයීමට නොහැකි බවයි. ගල් අඟුරු සැපයීමට නම් කලින් ගෙවීම් සිදු කරන ලෙස සැපයුම්කරුවන් දන්වා තිබෙනවා. කෙසේ නමුත් එවැනි ආකාරයෙන් පෙර මුදල් ගෙවා ගල් අඟුරු මිලදී ගැනීම ලංකා ගල් අඟුරු සමාගමට සිදුකළ නොහැකි බවයි වාර්තා වන්නේ.

පෙර ණයවර ලිපි සඳහා වන සියලු මුදල් ගෙවා අවසන් කර ඇති නමුත් රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් ණයවර ලිපි මත විස්වාසය තැබීමට සැපයුම්කරුවන් තවදුරටත් සූදානම් නොමැත.

පසුගිය සැප්තැම්බර් 30 වැනිදා සහ ඔක්තෝබර් 15 වැනිදා ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 බැගින් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් නිකුත් කර ඇති අතර සැපයුම්කරුවන් ඉදිරිපත් නොවීම නිසා ‍ටෙන්ඩර් වසා දැමීමට සිදුව තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස නොවැම්බර් මාසයේදී පැමිණිය යුතු ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ක තොගය ප්‍රමාද වනු ඇත.

මෙරට විදුලි ඉල්ලුමෙන් විශාල ප්‍රතිශතයක් සපයන නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සතුව ප්‍රමාණවත් ගල් අඟුරු තොග තිබෙන බැවින් මෙය එතරම් ගැටලුවක් නොවනු ඇති බවයි එම බලාගාරයේ පාලනාධිකාරිය පවසන්නේ. කෙසේ වෙතත් දිගින් දිගටම ණයවර ලිපි මත ගල් අඟුරු සැපයීම සැපයුම්කරුවන් ප්‍රතික්ෂේප කළහොත් යම් ගැටලුකාරී තත්වයක් පැන නගිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here