Sunday, September 22, 2024

රාජපක්ෂලාට පුළුවන් නම් මට බැරි මොකද -මෛත්‍රීපාල

සියල්ලන්ම පාහේ සිතුවේ පසුගිය 2019 ජනාධිපතිවරණයෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ගමන අවසන් වනු ඇති බවකි. එහෙත් ඒ මහතා 2020 මහමැතිවරණයට ද ඉදිරිපත් වුණේය. එහිදී පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වූ ඒ මහතා මේ වනවිට රජයේ වෙනත් කිසිදු තනතුරක් හිමිව නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වශයෙන් නොදැවී දේශපාලන පිටියේ ක්‍රීඩා කරමින් සිටී. 

එතැනදී පවා බොහෝ අය සිතාගෙන සිටින්නේ මේ පාර්ලිමේන්තු වාරයෙන් පසුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ගමන නිමවෙනු ඇති බවකි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා නම් සිතන්නේ වෙනස් ආකාරයකට බවයි ඒ මහතාට සමීප ආරංචිමාර්ග අප වෙත පැවසුවේ. 

මෑතකදී තම සමීපතමයින් සමග පැවති සාකච්ඡාවකදී ඒ මහතා සිය අනාගත අභිලාෂය හෙළිකරමින් පවසා ඇත්තේ යළිත් මේ රටේ රාජ්‍ය නායකයා වීම තම අපේක්ෂාව බවයි. විධායක ජනාධිපති ධුරයට පත්වීමට නොහැකි නම් පූර්ණ බලතල සහිත අගමැති ධුරයට හෝ පත්වීම තමන්ගේ බලාපොරොත්තුව බවයි ඒ මහතා එහිදී සඳහන් කර ඇත්තේ. 

තමන්ගේ අරමුණ සම්බන්ධ තර්කය පැහැදිලි කරමින් ඒ මහතා එහිදී ප්‍රශ්න කර ඇත්තේ මෙතරම් දූෂණ චෝදනා ඇති රාජපක්ෂවරුන්ටත් යළි රාජ්‍ය බලය ලබාගත හැකි නම් එවන් චෝදනා කිසිවක් නොමැති තමන්ට යළි රාජ්‍ය බලය ලබාගත නොහැකි වන්නේ කෙසේද යනුවෙනි. රාජපක්ෂවරුන්ට එරෙහි චෝදනා කිසිදු අධිකරණයකින් ඔප්පු වී නැතත් සමාජය තුළ ඒවා දැඩි ලෙස මුල් බැස ඇති බව පෙන්වා දී ඇති ඒ මහතා තමන්ට එවන් කිසිදු චෝදනාවක් නොමැති බැවින් යළි බලයට පත්වීම කළ හැක්කක් බවටයි ප්‍රකාශ කර ඇත්තේ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතේ අලුතින් දේශපාලන සන්ධානයක් ගොඩනැඟීමක් වශයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යළි සක්‍රිය කිරීමට ශ්‍රීලනිපය මේ දිනවල කටයුතු කරගෙන යන්නේ ද මෙකී අරමුණ යටතේ බව ආරංචිමාර්ග සඳහන් කළ අතර තවත් ක්‍රියාමාර්ග ඉදිරියේදී දැකගැනීමට ලැබෙනු ඇති බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේ. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles