Sunday, September 22, 2024

ඇමති බැසිල්ගේ විශ්වාසවන්තයන් දෙදෙනෙකු නුවරට යවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විශ්වාසවන්තම දේශපාලන සගයන් දෙදෙනකු මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු සඳහා සම්බන්ධ කර ඇත.
පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් ක්‍රියාකාරකම්වල වැඩි වර්ධනයක් බලාපොරොත්තුවෙන් මෙසේ පත්කර ඇත්තේ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ජයන්ත කැටගොඩ යන මන්ත්‍රීවරුන් ය.
ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් වන ඔවුන් දෙදෙනා මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 2ක ප්‍රාදේශීය කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කිරීම ආරම්භ කර ඇත.
මේ අතරින් ජයන්ත කැටගොඩ මහතා 2020 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව පැමිණීම සඳහා ඉල්ලා අස්විය. යළිත් ඔහු මන්ත්‍රීවරයකු ලෙස පත්වූයේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරයට පත්වීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් අනතුරුව යි.
ජයන්ත කැටගොඩ මහතා අද දින තෙල්දෙණිය ප්‍රාදේශීය කමිටු සභාපතිවරයා ලෙස වැඩ බාරගත්තේ ය.
මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මීට ටික කලකට පෙර සිට උඩුනුවර ආසනයෙහි ප්‍රාදේශීය කමිටු සභාපතිවරයා ලෙස ක්‍රියාකරයි.
ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන අතර ඔහුද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භයේ සිට ක්‍රියාකාරීව සම්බන්ධ වූ පුද්ගලයෙකි.
ආර්ථික කටයුතු පිළිබඳ මුදල් අමාත්‍යවරයා හට උපදෙස් දෙන විද්වතකු ලෙසද මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කරයි.
කොළඹ පාදක කරගත් ක්‍රියාකාරකම්වල නිරත වූ ඔවුන් දෙදෙනා මහනුවර දේශපාලන කටයුතු සහ ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවලට සම්බන්ධ කර ගැනීම තුළ, පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා වන බැසිල් රාජපක්ෂ මහතාගේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය වැඩි කිරීමට හේතුවක් වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles