මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට සහ ඊට අදාළ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර එහිදී ඊට අදාළ අනුමැතිය හිමිව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
දේශීය කෘෂිකර්මාන්තය සහ කිරිපිටි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණෙන් ගව ඝාතනය, තහනම් කිරීමට රජය පසුගිය වසරේ තීරණය කළ අතර, ඊට අදාළ නීති සහ රෙගුලාසි මෙන්ම පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබුවා
ඒ අනුව ගව ඝාතනය තහනම් කිරීමට අදාළව පනත් සහ ආඥා පනත් 5ක් සංශෝධනය කිරීම සදහා සකස් කළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධානයන්ට අනනුකූල නොවන බව නීතිපතිවරයා දැනුම් දී තිබේ.
*272 අධිකාරය වන 1893 අංක 9 දරණ ගව ඝාතක ආඥාපනත
*1958 අංක 29 දරණ සත්ත්ව පනත
* 525 අධිකාරය වන මහනගර සභා ආඥාපනත
*255 අධිකාරය වන නගර සභා ආඥාපනත
*1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත
ඒ අනුව පනත් සහ ආඥා පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පත් සකස් කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව එම සංශෝධිත පනත් කෙටුම්පත් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේය.
ඒ අනුව එම පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත අතර ඒ සදහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව සඳහන් වේ.