Friday, September 20, 2024

කොවිඩ් කමිටු රැස්වීමේ දී ගත් තීරණ

අද (22) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.

එහිදී ගනු ලැබූ තීරණ පිළිබඳ නිවේදනයක් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කර ඇත.

සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ සහ සංචාරක ක්ෂේත්‍ර ඇතුළු ඉදිරිපෙළ රාජකාරී කටයුතුවල නිරත පිරිසට ප්‍රතිශක්ති වර්ධක තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත නොවැම්බර් 01 වනදා සිට ලබාදීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ.

එමෙන්ම සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියක් ඇතුළත දී එන්නත ලබාදී අවසන් කිරීමට ද තීරණය කර ඇත.

එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කරමින් සුදුසුකම් සපුරා ඇති සියලුදෙනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

“සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල දැඩි කැපවීම හේතුවෙන් ඉතා ඉක්මණින් කොවිඩ් වසංගතය පැතිර යාම පාලනයට හැකි විය.  එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට වාර්තා වන මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳව අවධානය යොමුකර ව්‍යාප්තිය වැළැක්වීමට පියවර ගැනීම අවශ්‍යයි,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ඡා කර සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව තීරණය කර ඇති අතර උපකාරක පන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳ විශේෂ අවධානය යොමුව තිබේ.

පළාත් ඇතුළත දුම්රිය ධාවනය ලබන සඳුදා සිට ආරම්භ වේ. පළාත් අතර දුම්රිය ධාවනය නොවැම්බර් 01 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය හිමි මගීන්ට පමණක් පළමු අදියර යටතේ ගමනාගමනයට අවසරදීමට කොවිඩ් කමිටුව නිර්දේශ කර ඇත.

අමතර මැදිරි එක්කර දැඩි තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

මුව ආවරණ පැළදීම, අත් සේදීම, දුරස්ථභාවය තබා ගැනීම ඇතුළු සෞඛ්‍ය නිර්දේශ පිළිපැදිමට ජනතාව අඛණ්ඩව දැනුවත් කිරීම සහ ප්‍රතිශක්තීකරණය සඳහා දේශීය ඖෂධ සහ කැඳ වර්ග භාවිතයට ජනතාව පෙළඹවීම කළ යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles