Friday, September 20, 2024

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දියර පොහොර භාවිතය ගැන උපදෙසක්

මෙවර මහ කන්නය සඳහා රජයෙන් ලබා දෙන පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර හා නැනෝ නයිට්‍රජන් දියර පොහොර කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මඟ පෙන්වීම අනුව වී වගාවට යොදා ගතයුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, එම පොහාර සහ දියර වගාව සඳහා යොදාගන්නා ආකාරය පිළිබඳව ප්‍රාදේශීය කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් ගොවීන්ට උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතින බවය.

“ආරම්භ වන වගාවට දෙවැනි සතියේ සිට අපිට දැනට ගෙනත් තියෙන නැනෝ නයිට්‍රජන් පොහොර යෙදීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලුම නැනෝ නයිට්‍රජන් පොහොර දැන් ලංකාවට ආනයනය කරමින් පවතිනවා. ඒ නිසා අපිට අම්පාර දිස්ත්‍රික්කයේ සිට ඉතුරු සියලුම පළාත්වලට නැනෝ නයිට්‍රජන් ලබාදීම සිදුකරමින් යනවා. ඒ එක්කම මතක තියාගන්න ඕන තව අවශ්‍යතාවයක් තියෙනවා සමහර දේශීය සමාගම්වලින් සම්පූර්ණ පැකේජයක් විදියට සම්පූර්ණ වගාව සඳහා අවශ්‍ය ඝන පොහොර, කාබනික ඝන පොහොර හා කාබනික දියර පොහොර වර්ග සැපයීම සිදුකරලා තියෙනවා. ඒවා දැන් ගොවිජන සේවා බලප්‍රදේශවලට නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒ එක්කම පොටෑසියම් ක්ලෝරයිඩ් ස්වභාවික ඛනිජයක් ලෙස ගෙනාපු අපේ මේ පොහොරත් දැන් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ලබාදීම නිකුත් කරලා තියෙනවා. කෘෂිකර්ම උපදේශකවරුන්ගෙන් ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම, නිර්දේශය ලබාගැනීමට අපේ රටේ ඉන්න ගොවි ජනතාවට හැකියාව තියෙනවා.”

කෙසේවුවද පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර හා නැනෝ නයිට්‍රජන් දියර ඉදිරි මහා කන්නය සඳහා යොදාගැනීම ප්‍රායෝගික නොවන බව බෝග වගාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යය අරුණ කුමාර මහතා පැවසීය.

“මෙම දියර පොහොරය ලබාදෙන්නේ නම් හෙක්ටයාරයක භූමි ප්‍රමාණයක් සඳහා ලබාදිය යුතු දියර ප්‍රමාණය ලීටර 1250ක පමණ විශාල ප්‍රමාණයක් වෙනවා. එය කිසිසේත් ම ප්‍රායෝගික නෑ. දෙවැනි එක අධික ලෙස වියදමක් දැරීමට සිදුවෙනවා. එතරම් විශාල දියර පොහොර ප්‍රමාණයක් හෙක්ටයාරයක භූමියක් සඳහා ලබාදෙනවා නම්. පැහැදිලිවම කියන්න සිදුවෙනවා මෙවැනි තීරණයක් නිසා මේ රටේ වී නිෂ්පාදනයේ, නිෂ්පාදන වියදම ඉතා විශාල ලෙස වැඩිවෙනවා. මෙම නයිට්‍රජන් ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ බෝගයේ අවශ්‍යතාවයන් සපුරන්න. මේ මහකන්නය අවසානයේ මෙරට සහල් නිෂ්පාදනය විශාල වශයෙන් කඩා වැටීමට හා සහල් මිල ගණන් අති විශාල ලෙස වැඩිවීමට මෙය ඉතා පැහැදිලි ලෙසම හේතුවෙනවා.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles