Tuesday, September 24, 2024

පී.බී. – දිලිත් ගැටුම : නැනෝ පොහොර පුවත ගැන ප්‍රශ්න කිරීමට මහින්ද ඉලේපෙරුමව CIDයට කැඳවයි

“ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29 ක් පුද්ගලික ගිණුමකට – ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” මැයෙන් සති අග අරුණ පුවත්පතේ පළව ඇති පුවත පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා එම පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාව සහ නියෝජ්‍ය කර්තෘ උදයජීව ඒකනායක මහතාව අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වේ. 


ඔවුන්ව මෙසේ සීඅයිඩීයට කැඳවා ඇත්තේ අදාළ පුවත සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පොලිස්පතිවරයාට අද කළ දැනුම් දීමකට අනුවය. 


උපන්දිනය දා ස’ගෙන් තෑග්ගක් !


මෙසේ සීඅයිඩීය ප්‍රශ්න කිරීම සඳහා ගෙන්වා ඇත්තේ උදයජීව ඒකනායක මහතාගේ උපන්දිනය දවසේදීම වීමත් විශේෂත්වයකි. ඒ අනුව මෙය එක්තරා ආකාරයක උපන්දින තෑග්ගක් වශයෙන් ද හැඳින්විය හැකිය. 


ඔවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙතම කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී මහින්ද ඉලේපෙරුම මහතාගෙන් පැයක් සහ උදයජීව ඒකනායක මහතාගෙන් විනාඩි 20ක් වශයෙන් ප්‍රශ්න කර ඇත. 


අදාළ පුවත පිළිබඳ ඔවුන්ගෙන් විමසීමේදී ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ තමන් සිදුකළේ ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළ කරුණු වාර්තා කිරීම පමණක් බවත් ඊට අමතරව ඒ මහතා පැවසූ ගිණුම්වලට අදාළ තොරතුරු තහවුරු කරගැනීම සඳහා තමන් මහජන බැංකු සභාපතිවරයාව ඇමතූ අතර ඔහු එම ගිණුම් විස්තර තහවුරු කරන ලද බවත්ය. 


එයාලාටත් එහෙම නම්….


සති අග අරුණ පුවත්පත අද වෙළඳපොලට නිකුත් වුවත් එහි සඳහන් වන දිනය වන්නේ ඔක්තෝබර් 24 වනදා, එනම් හෙටය. අපේ රටේ පොලීසිය කෙතරම් කාර්යක්ෂමද යත් පී.බී. ජයසුන්දර මහතා අද පෙරවරුවේ කළ දැනුම්දීමට අනුව අදම විමර්ශනය ආරම්භ වී අදාළ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාව අදම සීඅයිඩීය හමුවටත් කැඳවා තිබේ. මෙහෙව් රටක පොදුවේ ගත් කල නීතිය ක්‍රියාත්මක වීම ප්‍රමාද වන්නේයැයි කියන්නේ කෙසේද යන්නම ප්‍රශ්නයකි. 


සතොස සුදුළූණු වංචාව සම්බන්ධයෙන් වාර්තා කළ මාධ්‍යවේදීන්ව ද සීඅයිඩීයට දැක්කීමේ උත්සාහයක් මීට පෙර දියත් වූ අතර එය වැළැක්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙනි. මෙවර කාටත් මැදිහත් වීමට ඉඩක් නොතබාම පැය කිහිපයක් තුළ සීඅයිඩීයට කැඳවා ඇත්තේ වත්මන් ආණ්ඩුව බිහිකිරීමෙහිලා  ඉතාමත්ම කැපවීමෙන් වෙහෙස නොබලා කටයුතු කළ, මහින්ද රාජපක්ෂ මහතාගේ සමීප හිතවතෙකු මෙන්ම ඒ මහතාගේ දේශන පවා ලියාදෙන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන මහින්ද ඉලේපෙරුම මහතාවය. ඒ අනුව ඊළඟ ප්‍රශ්නය වන්නේ මහින්ද ඉලේපෙරුමටත් මෙහෙම නම් සාමාන්‍ය මාධ්‍යවේදීන්ට කොහොම වෙයිද යන්නය. 


ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු වන දිලිත් ජයවීර මහතා අතර මේ වනවිට ගැටුමක් පවතින බව රහසක් නොවේ. දිලිත් ජයවීර මහතා පසුගිය දිනෙක සිය ෆේස්බුක් පිටුවෙහි ප්‍රසිද්ධියේම සඳහන් කර තිබුණේ පී.බී. ජයසුන්දර මහතා රටට කළ සේවාව හොඳටෝම ඇති කියාය. මේ පුවතට අදාළ තත්වයන් කියවා ගැනීමට වන්නේ ද එම සන්දර්භය තුළය. -Lankanewsweb

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles