Sunday, September 22, 2024

පක්ෂ නායක හමුව උණුසුම වෙයි… ජනපති ඉදිරියේ බාල්දි පෙරලෙයි

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ (28) රාත්‍රී පැවැති ආණ්ඩුවේ පක්ෂ නායක හමුව දැඩි උණුසුම්කාරී ස්වභාවයක් ගත් බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ , ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,දිනේෂ් ගුණවර්ධන,ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ප්‍රසන්න රණතුංග,කෙහෙළිය රඹුක්වැල්ල , නාමල් රාජපක්ෂ ,පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරු ද ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වෙනුවෙන් ඇමතිවරුන් වන විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, ඒ එල් එම් අතාවුල්ලා ,වීරසුමන වීරසිංහ ,ටිරාන් අලස්, ගෙවිදු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු ද ,අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ .

මෙරට යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අතුරලියේ රතන හිමියන් ,විමල් වීරවංශ ,උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා එම ප්‍රශ්නවලට පිළිතුරු දී ඇතැයි වාර්තා වෙයි.

අදහස් දක්වා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ,ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම විසඳා ගන්නා ලෙසත්, එළියට ගෙන නොයන ලෙසත් හවුල් පක්ෂවල නායකයින්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වෙයි.

සාකච්ඡාව ඊයේ පස්වරු 5.30ට පමණ ආරම්භ වී රාත්‍රී 10 පමණ වන තෙක් පැය හතර හමාරක් තිස්සේ පැවති නමුත්, අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව ද ආරංචිමාර්ග වලින් වාර්තා වෙයි.

යුගදනවි බලාගාරයේ කොටස් පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා තිබේනම් ,ලිඛිතව ඉදිරිපත් කරන ලෙස මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හවුල් පක්ෂ වල නායකයන්ට දැනුම් දුන් බවද වාර්තා වේ.

ආණ්ඩුවේ හවුල් පක්ෂ අද (29) පස්වරුවේ පැවැත්වීමට සැලසුම්කර තිබූ “මහජන සභාව ” රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇතැයි ද වාර්තා වෙයි.

Unusuma.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles