Sunday, November 17, 2024

පළමු තරඟය ගැන මැතිව්ස්ගේ අදහස්…

ශ්‍රීලංකාව හා එංගලන්තය අතර පළමු එක්‌දින තරගය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බැලීමේදී එම තරගයේ ජය තම කණ්‌ඩායමට හිමිවනු ඇතැයි තමාගේ විශ්වාසය වූ බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ පවසනවා.

එම තරඟය පෙරේදා (21) ට්‍රෙන්ට්‌බ්‍රිඡ්හි පැවැති අතර ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක්‌ දැවී ලබාගත් ලකුණු 286 හඹායාමේදී නුවන් ප්‍රදීප්ගේ අවසන් පන්දුවට එංගලන්ත ජයග්‍රහණය සඳහා ලකුණු 07 ක්‌ ලබාගත යුතු වූ අතර එහිදී ලියම් ප්ලන්කට්‌ එල්ල කරන ලද හයේ පහරත් සමඟ එම තරගය ලකුණු සමවුණු තරගයක්‌ වශයෙන් නිමාවට පත්වුණා.

තරඟය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් පලකර සිටියා.

”මම හිතුවෙම මෙම තරගය අපේ වාසියට හිටියි කියලා. අවාසනාවකට නුවන් ප්‍රදීප්ගේ අවසන් පන්දුවට ලකුණු හයක්‌ ගියා. අවාසනාවකට පන්දු යවන්නන්ට ඒ දේ වෙනවා”.

”මට හිතෙන විදියට අපිට ලකුණු 15 ක්‌ 20 ක්‌ මදි වුණා. තණතීරුව පිතිකරුවන්ට ඉතා හොඳ වුණත් අපිට ලකුණු 286 කින් සෑහීමකට පත්වන්න සිදුවුණා. අවශ්‍යම අවස්‌ථාවලදී අපේ කඩුලු බිඳී යැම එයට හේතු වුණා”.

”අපි ගොඩක්‌ම මේ තරගය ධනාත්මකව ගත්තේ. පන්දුවට පහර දුන්නා වගේම පන්දු යෑවීමත් අපි හොඳින් කළා. නමුත් අපි පන්දු රැකීමේදී දුර්වල වුණා. කණ්‌ඩායමක්‌ වශයෙන් අපි මේ අංශ 3ම දියුණු කරගත යුතුයි”

එංගලන්ත හඹා යැමේදී අවසන් පන්දු 12 සඳහා ලකුණු 30 ක්‌ ලබාගැනීමට සිදුවූ අතර එහිදී පන්දුවට පහර දුන් තරගයේ වීරයා වූ ක්‍රිස්‌ වෝක්‌ස්‌ සහ ලියම් ප්ලන්කට්‌ 49 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ෆර්වීස්‌ මහරූෆ් ට ලකුණු 16 ක්‌ද නුවන් ප්‍රදීප්ට ලකුණු 13 ක්‌ද ලබා ගනිමින් පරාජයවීමට ගිය තරගය ලකුණු සම කරගනිමින් අවසන් කර ගැනීමට සමත්වුණා.

එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 6 ම ලකුණු 82 කදී බිඳ වැටුණද හත්වැනි කඩුල්ලට එක්‌වූ ජොස්‌ බට්‌ලර් (93) සහ ක්‍රිස්‌ වෝක්‌ස්‌ (නොදැවී) 95) එක්‌ව ලකුණු 138 ක සම්බන්ධතාවක්‌ පවත්වා ගත්තා.

මැතිව්ස්‌ ලකුණු 73 ක්‌ද මෑතකදී පිතිකරුවකු ලෙස සීග්‍ර දියුණුවක්‌ ලබා සිටින සීකුගේ ප්‍රසන්න පන්දු 28 කදී රැස්‌ කරන ලද ලකුණු 59 ක ඉනිම් ප්‍රධාන කොට පන්දුවාර 50 අවසනදී කඩුලු 9 කට ලකුණු 286 ක්‌ ලබාගැනීමට අවස්‌ථාව උදාවිය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පළමු කඩුලු 4 ම ලකුණු
120 කට බිඳ වැටුණද එහිදී ප්‍රසන්න විසින් නායක මැතිව්ස්‌ට ලබාදුන් සහයෝගය ඉතා වටිනා එකක්‌ විය. ප්‍රසන්නගේ වේගවත් ඉනිමට හයේ පහර 4 ක්‌ සහ හතරේ පහර 8 ක්‌ ඇතුළත්විය. මොවුන් දෙදෙනාට අමතරව දිනේෂ් චන්දිමාල් (37), දසුන් ශානක(20) සහ ෆර්වීස්‌ මහරූෆ් (නොදැවී 31) බැගින් ලකුණු රැස්‌ කලා.

එහිම දෙවන එක්‌දින තරගය හෙට බර්මිංග්හැම්හිදී දිවා/රාත්‍රී තරගයක්‌ ලෙස පැවැත්වීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles