Monday, September 23, 2024

ඉරානය තුළ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සහ ගමනාන්ත ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (එස්එල්ටීපීබී) සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ සහය ඇතිව ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගිය 26 වන දින ටෙහෙරානයේ චාන්සරි පරිශ්‍රයේ දී “ශ්‍රී ලංකා ගමනාන්ත” (Destination Sri Lanka) නමින් සංචාරක ප්‍රවර්ධන උත්සවයක් සංවිධානය කර තිබේ.

සංචාරක වෙළඳාම, ගුවන් සේවා, මාධ්‍ය සහ ඉරානයේ අදාළ අනෙකුත් අංශවල නියෝජිතයින් 60කට ආසන්න ප්‍රමාණයක් මෙම උත්සවය සඳහා සහභාගි වූහ.

වසංගත සීමා කිරීම් සහ ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම පිළිබඳ අදහස් ඉල්ලීම් හේතුවෙන් දීර්ඝ විවේකයකින් අනතුරුව ඉරාන සංචාරකයන්ගේ ප්‍රියතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව යළිත් ප්‍රවර්ධනය කිරීම මෙම උත්සවයේ අරමුණ විය.

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජා විශ්වනාත් අපෝන්සු මහතා එහිදී පැවසුවේ මෙරට සුවිශේෂී ලක්ෂණ, එහි අනර්ඝ විවිධත්වය, ප්‍රසිද්ධ ආකර්ෂණීය ස්ථාන සහ මිත්‍රශීලී මිනිසුන් සඳහා ප්‍රකට නවාතැනක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම උදෙසා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ අත්වැල් බැඳ ගැනීමට ඔවුන් දක්වන කැපවීම සහ උනන්දුව අගය කර බවයි.

ශ්‍රී ලංකාවේ සුහදශීලී ආගන්තුක සත්කාරය අත්විඳීම සඳහා තානාපතිවරයා විසින් මෙම අවස්ථාවට පැමිණ සිටි සියලු දෙනාට ම ආරාධනා කළ අතර, තානාපති කාර්යාල සංචාරක සැලැස්මට අනුකූලව වසරකට අවම වශයෙන් ඉරාන සංචාරකයින්ගෙන් 1% ක් හෝ ශ්‍රී ලංකාව වෙත ගෙන්වීමට දිරිමත් කිරීම සඳහා ඔවුන්ගේ සහාය ඉල්ලා සිටියේය.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අලුතින් නිර්මාණය කරන ලද ඉන්ස්ටග්‍රෑම් ගිණුම එළි දැක්වීම ද මෙහිදී ප්‍රධාන අංගයක් විය. මීට අමතර ව ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද එහි දී ප්‍රදර්ශනය කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගි වූවන් හට තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද සිලෝන් තේ ප්‍රවර්ධන වැඩසටහනකින් සමන්විත විශේෂ තේ පැන් සංග්‍රහයක් ද පිරිනැමිණි. එහි දී සියලුම අමුත්තන් සඳහා ශ්‍රී ලාංකීය තේ සහ සමරු තිලිණයක් සහිත වටිනා ත්‍යාගයක් ද පිරිනමන ලදී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles