ජනාධිපතිවරයා ඥානසාර හිමියන්ව පත්කළේ රහසක් දන්න නිසා ද?

0
285

එක රටක් – එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපතිත්වයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් තමන්ට ප්‍රශ්නයක් මතු වී ඇතැයි පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසයි.

ඇය මේ අදහස් පළ කළේ, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

“එක රටක් එක නීතියක්.. දැන් නම් ඒක එක පිස්සුවක් වෙලා. එක රටක්, එක නීතියක්, එක පිස්සුවක්.. මොක ද ඒකට හේතුව වෙන්නේ, ඒ කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වය දරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ පහුගිය කාලේ මහා පරිමාණයෙන් කිතුනුවන්ට බැන්නා. මේ අයගෙන් රටට ලොකු ප්‍රශ්න තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ රූපවාහිනියට ඇවිල්ලා හොඳට දුන්නා. හොඳට බැන්නා. ඊළඟට ඒ හිමියෝ විටින් විට මුස්ලිම් ජාතිකයින්ටත්, ආගමටත් බොහෝවිට බැන්නා. දැන් මෙවැනි කෙනෙක් කොහොම ද, එක රටක් එක නීතියක් කරන්නේ?”

මේ අතර, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ඇය ප්‍රශ්නයක් ද විමසුවා ය.

“මෙතනදි මගේ ඔළුවෙ කැරකෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නය තමා ජනාධිපතිතුමා මේ ස්වාමීන් වහන්සේ පත් කළේ, උන් වහන්සේ යම්කිසි රහසක් දන්නවා ද කියන එක. සමහර විට අපේ රටේ හුඟාක් වෙලාවට ඉහළ පුටුවල ඉන්න අයගේ රහස් දන්න අයට හොඳ තනතුරු ලැබෙනවා. ඉතින් ඒ නිසා මට තියෙන ගැටලුව එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායට පත් කරල තියෙන ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ළඟ ලොකු රහසක් තියෙනවා ද? මොක ද ජනාධිපතිතුමා ඔබව ඒ තනතුරට පත් කරන්නට තරම් ඔබ ප්‍රබල වුණේ, ඒ නිසා ද කියන ප්‍රශ්නය, මම ඔබෙන් අහන්න කැමතියි. මේ අහන්නේ රට වෙනුවෙන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here