මෙරට ගොවි ජනතාවගේ අප්‍රතිහත ධෛර්ය හා උත්සාහය නිසා වසර 2010 පමණ වනවිට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය උදෙසා කෘෂි විද්‍යාඥයින් හා විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් ලබාදුන් දැනුම හා නායකත්වයද අමතක කළ නොහැක. ආහාර සුරක්ෂිතතාවය සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබිණ. වසර 2019 වනවිට ලොව ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව 66 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබිණ. දේශීය තේ සහ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් ඇති වී තිබිණ.
එවන් තත්ත්වයක තිබූ රටකට අද අත්ව ඇති ඉරණම කුමක්ද ?
ආණ්ඩුවේ අදූරදර්ශී අන්තනෝමතික ක්‍රියාවලිය හේතුකොටගෙන නිසි කලට පොහොර නොලැබීම නිසා අද වනවිට ගොවි ජනතාව ඉතා අසරණ තත්ත්වයකට පත්වී ඇති අතර මේ හේතුවෙන් සමස්ත රටේ ජනතාවට ඉදිරියේදී අතිශය භයංකර ආහාර හිඟයකට මුහුණ පෑමටද සිදුවනු ඇත.
අප රටේ ඉඩම් ප්‍රමාණයෙන් 1/3 ක් කෘෂිකර්මාන්තය සඳහා යොදාගෙන ඇති අතර රටේ ශ්‍රම බලකායෙන් ¼ ක් සෘජුව හෝ වක්‍රව කෘෂිකර්මාන්තයට සම්බන්ධව තම ජීවනෝපාය සලසා ගනී. දළ ජාතික නිෂ්පාදනයට කෘෂිකර්මාන්තයේ දායකත්වය 7.3% කි. වී වගාව හා සම්බන්ධ වී ඇති පවුල් ඒකක ගණන මිලියන 1.8 කි. වැඩිවන ජනගහනයත් සමඟ ආහාර සඳහා ඇති ඉල්ලුමද වැඩිවන නිසාවෙන් සහල් නිෂ්පාදනය වාර්ෂිකව 1% කින් හෝ ඉහළ දැමිය යුතුව ඇත. එවන් පසුබිමක කිසිදු පෙර සූදානමකින් තොරව කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනීකරණයට යොමු කිරීම මගින් එම ඉලක්ක සපුරා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත.
රජරට ප්‍රදේශයේ පැතිරෙමින් පැවති වකුගඩු රෝගයට එකම හේතුව රසායනික පොහොර භාවිතය බවට මිත්‍යා මත හුවා දක්වමින් ඒ පිළිබඳව කිසිදු විද්‍යාත්මක හා පර්යේෂණාත්මක සොයා බැලීමක් නොකර ක්ෂණිකව පොහොර තහනම් කිරීමට පියවර ගැනීම අමනෝඥ ක්‍රියාවකි. ලෝකයට කැපී පෙනෙන්නෙකු බවට පත්වීමේ එක් පුද්ගලයකුගේ සිහිනය සැබෑ කර ගැනීමේ අරමුණින් සුවහසක් වූ මෙරට ගොවි ජනතාවගේත් සමස්ත පුරවැසි පරපුරේත් ජීවිත උකසට තබා කටයුතු කිරීම අනුමත කළ නොහැක.
මේ හරහා රටේ ගොවි ජනතාවත් කෘෂිකර්මාන්තය ආශ්‍රිත ක්ෂේත්‍ර ගණනාවකුත් බරපතළ ගැටලු සහගත තත්ත්වයකට පත් කර ඇත. වී වගාවට අමතරව සහල් මෝල් හිමියන්, තේ ගොවියන් හා කර්මාන්තශාලා හිමියන්, කුරුඳු ගොවීන්, මල් වගාකරුවන් මෙන්ම එළවළු හා පලතුරු ගොවීන්ද පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටය. බතලේගොඩ වී පර්යේෂණායතනය වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද පර්යේෂණ අත්දැකීම්වලට අනුව කාබනික වගාව මඟින් අස්වැන්න අඩුවීම 21% -30% ත් අතර ප්‍රමාණයක් බව පෙන්වා දී ඇත. එවන් පසුබිමක කිසිදු තාක්ෂණික දැනුමක් හෝ විද්‍යාඥ සහයක් නොමැතිව ගොවීන් සිදුකරන වගාවල නිසැකවම ඊටත් වඩා වැඩි ප්‍රතිශතයකින් අස්වැන්න අඩුවිය හැකි බව කෘෂි විද්‍යාඥයින්ගේ මතයයි.
නිසි ප්‍රමිතියෙන් තොර පොහොර, මෙරට නීතිරීති පවා උල්ලංඝනය කරමින් සහ විශේෂයෙන් ශාක නිරෝධායන පනත හා SLS ප්‍රමිතීන් පවා නොසලකා හරිමින් ගෙන ඒමට උත්සාහ දැරීම හරහා දේශීය ගොවිබිම් ඇතුළු සමස්ත භූමියම විපතේ හෙලීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිකුලෙන් යුතුව බැහැර කළ යුතුය. මෙම ක්‍රියාව නිසා මෙරට සමස්ත ජෛව පද්ධතියම තර්ජනයකට පත්වීමේ අවධානමක් ඇත. කාබනික උන්මාදය හරහා නව ව්‍යාපාර පැලැන්තියක් බිහිකර එමගින් ජනතා මුදල් ගසාකන තත්ත්වයක්ද බිහිවෙමින් පවතී. පොහොර ගෙන්වීම රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් දක්වා තල්ලු කිරීමටද මෙම බලධාරීන්ගේ හැසිරීම හා ක්‍රියාකලාපය හේතු වී ඇත.
මීට අමතරව මෙම තීරණ හා ක්‍රියා මගින් රටතුල විදේශ විනිමය පිළිබඳ ගැටලුවක්ද මතුවෙමින් ඇත. කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය වූ පොහොර ගෙන්වීමට ඇස්තමේන්තු කර තිබූ මුදලට වඩා වැඩි මුදලක් මෙම හදිසි තීරණ සහ නොසැලකිලිමත් ක්‍රියාපටිපාටිය හරහා රටට අහිමිවෙමින් ඇත.
තවද මෙරට ජනතාව කෘෂිකර්මාන්තයෙන් ක්‍රමයෙන් ඈත් කර කෘෂි ඉඩම් මුඩු ඉඩම් බවට පත්කොට බහුජාතික සමාගම්වලට ඒවා කුණු කොල්ලයට ලබාදීමේ කූට න්‍යාය පත්‍රයක් මේ තුළ ක්‍රියාත්මක වන්නේදැයි ඇත්තේ බරපතළ සැකයකි.
විද්‍යාත්මකව තහවුරු වූ කරුණු මත නොසිට මිත්‍යාමත පදනම්ව පොහොර සම්බන්ධ තීරණ ගැනීම තුළ කෘෂිකර්මාන්තයේ නිරත විශාල ශ්‍රමබලකායේ සහ නිෂ්පාදකයන්ගේ අනාගතය අඳුරුකර ඇත. මීට අමතරව කිසියම් මුදලක් උපයා ගත්තද අවශ්‍යතාවන් සඳහා ආහාර මිලදී ගැනීමට නොහැකි වටපිටාවක් අනාගතයේදී උදාවීම වැලැක්විය නොහැක.
තවද වගා හානියට පත් ගොවීන්ට වන්දි ලබාදෙන බවට පුරසාරම් දෙඩුවද ඒ සඳහා වන පිළිගත හැකි යාන්ත්‍රණයක් හෝ පදනමක් මේ දක්වා රජය ඉදිරිපත් කර නොමැත.
ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාවගේ යහපත උදෙසා සියලු දෙනාටම පිළිගත හැකි වැඩි අස්වැන්නක් තහවුරු කරන තිරසාර නව කෘෂිකාර්මික වැඩපිළිවෙලක අවශ්‍යතාවය අව ධාරණය කරමු.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක