Saturday, September 21, 2024

අපේ පාලනය කාලයේ මව්වරු, පියවරු කිරිපිටි පෝලිම්වල හිටියේ නැහැ. ගොවීන් පොහොර නැතුව පෙළපාලි ගියේ නැහැ – එජාප සභාපති වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී මව්වරු පියවරු කිරිපිටි පෝලිම්වල නොසිටි බවත් ගොවීන් පොහොර නැතුව පෙළපාලි ගියේ හෝ උද්ඝෝෂණ නොකළ බව එජාප සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධව පානදුර මැතිවරණ කොට්ඨාශයේ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (06) පානදුර නගර ශාලාවේ පැවැති රැස්වීමකට එක්වෙමිණි.

පානදුර එක්සත් ජාතික පක්ෂ සංවිධායක නගර සභාවේ සභාපති නන්දන ගුණතිලක මහතා සංවිධානය කර තිබූ මෙම ක්‍රියාකාරී හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

“ඊළඟ සියවස වනවිට ලෝක ජනගහණය බිලියන 9 ත් 10 ත් අතර ප්‍රමාණයක් වෙයි කියා ලෝක ආහාර සංවිධානය නිගමනය කර තිබෙනවා. ඒකට ගැළපෙන්න ලෝකය සකස් වෙන්න ඕන කොහොමද කියලා එයාලා බලනවා. ඔවුන් ඒ සඳහා ක්‍රම දෙකක් පෙන්නලා තියෙනවා. පළවෙනි එක පොහොර වල සංයුතිය උසස් කරලා නිෂ්පාදන වැඩි කරනවා. දෙවැනි එක ජාන වර්ග වෙනස් කරලා නිෂ්පාදන වැඩි කරනවා.

මෙරට ගොවි ජනතාවට පොහොර නොලැබීම නිසා අද වනවිට තේ ගස් මැරීගෙන යනවා. රබර් ගස් ගොයම් විනාශ වෙලා වගේම එළවළු වගාවත් විනාශ වෙන තැනට පත් වෙලා.

එක්සත් ජාතික පක්ෂය බලයට ආවම ආහාර සුරක්ෂිතතාවයට මුල්තැනක් දෙනවා කියලා මම ඔබට කියන්න කැමැතියි. ඒ සඳහා මේ වනවිටත් එක්සත් ජාතික පක්ෂය සැලසුම් සකස් කරමින් සිටිනවා.

අද මේ රටේ පාසල් දරුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිනවා. කොරොනා වසංගතය හමුවේ අපේ දරුවන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය ලැබීමට සිදුවුණා. නමුත් බොහෝ දරුවන්ට ඒ පහසුකම් නොමැතිකම නිසා ඔවුන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.

පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමට එදා අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා සැලසුම් කළා. නමුත් අවාසනාවකට මෙන් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඉඩ දුන්නේ නැහැ.

එදා එතුමන්ට හිනා වුනා, අපහාස කළා. ඇතැම් මාධ්‍ය ඔස්සේද මේ පිළිබඳව වැරදි ප්‍රචාර ගෙනගියා. පාසල්වලට ඩෙස් පුටු නැති බව ප්‍රකාශ කළා. ගොඩනැගිලි පහසුකම් නැතිබව ප්‍රකාශ කළා. එවැනි පසුබිමක ටැබ් ලබාදීමෙන් ඵලක් නොවන බව ප්‍රකාශ කළා. නමුත් ඒ ටැබ් යන්ත්‍ර දීලා තිබුනා නම් අද ගෙදරට වෙලා ළමයින්ට ඉගෙන පුලුවන්.

2015 ජනවාරී 8 වෙනිදා සිට 2019 දෙසැම්බර් 31 වෙනිදා දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විවිධ සහන ලබාදෙමින් රටේ ජනතාව ජීවත් කරවීමට පියවර ගත්තා.

අපේ ඒ පාලනය කාලය තුළ කිරිපිටි නැතිව ළමයි ඇඬුවේ නෑ. මව්වරු පියවරු කිරිපිටි පෝලිම්වල හිටියේ නැහැ. ගොවීන් පොහොර නැතුව පෙළපාලි ගියේ නැහැ. උද්ඝෝෂණ කළේ නැහැ.

අපි කොපමණ සහන ලබා දුන්නත් මිනිසුන්ට ඒවායේ වටිනාකමක් තිබුනේ නෑ. මිනිස්සු අහනවා යූ.එන්.පී. එක මොනවද කළේ කියලා. අපි කරපු දේවල් දැන් ජනතාවට අවබෝධ වෙමින් තිබෙනවා.

මේ ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා කිසිඳු සැලසුමක්, ප්‍රතිපත්තියක් ඇත්තේ නැහැ. මේ නිසා දිනෙන් දින රට විනාශයට තල්ලු වෙනවා. රටක් බාර දෙන්න ඕන රටක අනාගතය සැලසුම් කරන්න පුළුවන් කෙනෙකුට. එය කළහැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයට පමණයි” යැයි කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles