Saturday, September 21, 2024

69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි, බලාපොරොත්තු වූ ඒ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරනවා – ජනපති

මෙරට ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබාදීමේ විප්ලවීය වෙනස අනිවාර්යයෙන්ම සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, වැඩ නිමකළ මාර්ග 1,500ක් එකම දිනයකදී විවෘත කර ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ වීරකැටියේදී (06) එක්වෙමින් ය.

“රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව” මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ එය සිදුකර තිබේ.

මීට වසර දෙකකට පෙර රටේ බහුතර ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක් බවත්, එම වෙනස සිදු කිරීමේදී තමාට විවිධ අපහසුතා, බාධා එල්ලවෙමින් තිබෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අපහසුතා, බාධා පමණක් නොව අපහාස හා විවේචන පවා එල්ල වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතය හුරු කිරීම එකවර අහසින් කඩා පාත් වූ සංකල්පයක් නොව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නිශ්චිත වැඩපිළිවෙලක් සහිත ක්‍රියාමාර්ගයක් බවද ජනාධිපතිවරයා පවසනවා.

රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ වැඩ අවසන් කළ මාර්ග 1500 ක් ජනතා අයිතියට පත් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයට සහභාගිවෙමිනි.

තමන් මිලිටරි නායකයෙකු බවට ඇතැම් කණ්ඩායම් තමාට චෝදනා කළ බවත්, එසේම ඇතැම් පුද්ගලයන් මිලිටරි නායකයෙකු ලෙස හෝ කටයුතු කර වෙනස් රටක් බිහි කරනු ඇතැයි බලාපොරොත්තු වූ බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ අවශ්‍ය නම් මිලිටරි නායකයෙකු ලෙස කටයුතු කිරීමේ හැකියාව තමාට තිබෙන බවයි. හමුදාව යොදවා බලහත්කාරී ලෙස ගොවියාට කාබනික පොහොර ලබා දී බලහත්කාරයෙන් ගොවිතැන් කටයුතු සිදුකළ හැකි නමුත් එවැනි බලහත්කාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කිසවිටෙකත් කටයුතු නොකරන බවද ජනාධිපතිවරයා පවසනවා.

කුමන බාධා එල්ල වුවද කුමන අපවාද විඳීමට සිදු වුවද සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ විප්ලවීය වෙනස නියත වශයෙන්ම සිදු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“මේ රට වාර 10කට වඩා අපිට වහන්න වුණා. මේ තත්ත්වය ගැන අවබෝධයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නෑ. විපක්ෂය කෑ ගහනවා රට වහන්න කියලා. වහනකොට කෑ ගහනවා රට අරින්න කියලා. රටට ඩොලර් බිලියන 5ක විදේශ විනිමයක් ගෙනාපු සංචාරක අංශය බිංදුව දක්වා වැටුණා. ජනතාවගේ ආදායම් සම්පූර්ණයෙන් කඩා වැටුණා. අපනයන ආදායම නැතිවෙලා ගියා. ලක්ෂ 2කට ආසන්න මැදපෙරදිග වැඩ කරපු අය ලංකාවට ගෙනාවා. ඩොලර් බිලියන 4ක් සෑම අවුරුද්දකම ගෙවන්න සිද්ධ වුණා ණය. අපි ඒක ගෙව්වා. රාජ්‍ය සේවකයා ගෙදර හිටියත් අපි පඩි ගෙව්වා.”

“අද ගොවි මහත්තුරු උද්ඝෝෂණ කරනවා. අපි බලයට එනකොට වී රුපියල් 25ට විකුණගන්න බැරුව හිටියේ. අපි රුපියල් 50ක සහතික මිලක් දීලත් අද 60ට 70ට 80ට විකුණනවා. කමක් නෑ ඒක යන්නේ ගොවියට.”

“69 ලක්ෂයක් මට ඡන්දෙ දුන්නේ මගේ මූණට නෙමෙයි. මගේ ප්‍රතිපත්තිවලට. වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට දෙන්න අපි පොරොන්දු වුණා. වෙනස කරන එක අමාරුයි. ගොවියාට බලෙන් මේ කාබනික පොහොරවලට යන්න කියන්නේ නෑ. නමුත් මම කළේ හරි දේ.”

“සමහරු කියනවා අපි බලාපොරොත්තු වුණේ මිලිටරි ක්‍රමයේ ගෝඨාභය කෙනෙක් කියලා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ.., මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර පාවිච්චි කරපන් කියලා කියන්න. හැබැයි මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ. ඒකද බලාපොරොත්තු වෙන්නේ. නෑ. සමහරු කිව්වා මම ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි කියලා. ඒ අයම කියනවා අයියෝ අපි බලාපොරොත්තු වුණේ හමුදාවේ වගේ එක්කෙනෙක් කියලා. පුළුවන් මට ඕනේ නම් එහෙම කරන්න. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. බොරු චෝදනා නිසා අදත් අපි රටක් හැටියට ජිනීවා යනවා. මානව හිමිකම්වලට. මට එහෙම කරන්න ඕනේ නෑ අපේ රටට.”

“නමුත් මම පොරොන්දු වෙච්ච ඒ විප්ලවීය වෙනස මම කරනවා.”

“අපිට තෙල් නෑ. ගල් අගුරු නෑ. ගෑස් නෑ. නමුත් අපිට තියෙනවා හිරු එළිය, වතුර, සුළඟ, මේ තුනෙන්ම අපිට විදුලිය ජනනය කරන්න පුළුවන්. ඒක කරන්න ගියාමත් විශාල විරෝධයක්. මේවා අමාරු දේවල්.”

“යහපාලනය යටතේ ජනාධිපති අගමැති යනකොට විශාල කාර් ප්‍රමාණයක් යනවා. මම ඒවා නැති කළා. අමෙරිකාවෙදි මගෙත් එක්ක වාහන 15ක් ආවා.”

“මම එක්සත් ජාතීන්ගේ සමුළුවට ගිහින් හිටියේ සාමාන්‍ය හෝටලයක. මගේ භාර්යාව මගෙත් එක්ක ගියා. මම එයාගේ ටිකට් එකට සල්ලි ගෙව්වා.”

“මගේ ඥාතීන්වත් එක්කං ගියානම් ඒ අයත් සන්තෝෂයි. බැහැයි ඒ අයව එක්කං නොගියාම, අයියෝ අපේ මාමා ජනාධිපති වැඩක් නෑ. අපිට යන්නවත් නෑ. නමුත් ඒකයි වෙනස.”

“මටත් රජ ගෙදරක් තියෙනවා. ඒක බොහොම විශාලයි. ඒකෙ ඉන්න අමාරුයි. වැඩක් නෑ. අපරාදෙ නිකං විදුලිය පිච්චෙනවා. මම ඉන්නේ හිටපු ගෙදරමයි. ඒකයි වෙනස.”

“මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට මම කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරය දුන්නා. විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, මහින්ද ජයසිංහ, ස්ටාලින් ද කවුද කියන කෙනාත් ගියා උපදෙස් ගන්න. ඔය ඔක්කොම උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ගාවට. හැබැයි උන්වහන්සේව කුලපති කළාම… සුදුසු නෑ. ඔක්කොම වැල පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතන.”

“එක රටක් එක නීතියක් සංකල්පයක්. මේකට ඥානසාර හාමුදුරුවො පත් කළාම විවේචනය කරනවා. මම දන්නවා අවුරුදු 5ක් තිස්සේ එක රටක් එක නීතියක් ගැන සංකල්පය කතා කළේ උන්වහන්සේ. ඉතින් මං උන්වහන්සේට කතා කරලා කිව්වා මට මේ සංකල්පය හදලා දෙන්න කියලා. උන්වහන්සේ මට ඒක හදලා දුන්නාම මම ඒක අධිකරණ අමාත්‍යාංශයට දීලා අඩුපාඩු හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒකනේ අවශ්‍යතාවය.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles